නිමල් රාජපක්ෂ-
රාජ්‍ය අංශයේ ඉදිකිරීම්වලදී පෞද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන අතර පවතින ගැටලු නිරාකරණය කර, බාධා ඉවත් කර ඉදිකිරිම් වඩාත් වේගවත් කිරීමේ අරමුණ ඇතිව “Builders’ Gateway” ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ විවෘත කෙරිණ.
එයට සමගාමීව https://nbfc.presidentsoffice.gov.lk/ වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත VIYASA ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. මෙම ආයතනයට තමන්ගේ ගැටලු Builders gateway ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන https://nbfc.presidentsoffice.gov.lk/ Builders Gateway වෙබ් අඩවිය ඔස්සේ හෝ info.nbfc@presidentsoffice.lk ඊ -මේල් මගින් ඉදිරිපත් කළ හැකිය. එසේම 9411 267 2750 දුරකථනයට අමතා හෝ 94 77 354 3495 අංකයට වට්ස්ඇප් කර හෝ යොමු කළ හැකිය. එසේත් නොමැති නම් C80, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07, යන ලිපිනයට ලිපියක් මගින් හෝ එම ස්ථානයට පැමිණ හෝ ඉදිරිපත් කළ හැකිය.
මෙහිදි අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
රජයේ ඉදිකිරීම් විශාල වශයෙන් සිදුකරන්නේ පෞද්ගලික සමාගම් විසින්. මේ ව්‍යාපාරික ප්‍රජාවට තමන්ගේ කාර්යයන් කරගෙන යාමේදී විවිධාකාර ගැටලුවලට මුහුණ දෙන්න
සිදු වෙනවා. ඒ ගැටලු විසඳා ගැනීමට ඔවුන් විවිධ අමාත්‍යවරුන්, ජනාධිපති ලේකම්, ඇතුළු බොහෝ දෙනා මුණ ගැසී ප්රශ්නය ඉදිරිපත් කරනවා. උදව් ඉල්ලනවා. ඇතැම් විට ජනාධිපති පවා මුණ ගැසී ප්රශ්නය කතා කරනවා. ඇතැම් විට ඔවුන් අපේක්ෂාභංගත්වයට පත්වෙනවා.
මේ තත්වය වෙනස් කර ඉදිකිරිම් ක්ෂේත්රය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමේ අරමුණ ඇතිව තමයි, ජනාධිපතිගේ උපදෙස් මත මේ ආයතනය ස්ථාපිත කරන්නේ.
2027 වසරේ අයවැය තුළින් ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක් වෙන්කර තිබෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් වෙන්වන්නේ ඉදිකිරීම් පහසුකම් සඳහා. ඒ නිසා ලබන වසර ඉදිකිරිම් ක්ෂේත්රයේ දැවැන්ත පිබිදීමක් සහිත වසරක් වෙනවා. විශේෂයෙන්ම යටිතල පහසුකම් ගොඩනැගීම ලබන වසර තුළ වඩාත් වේගවත්ව සිදු වේවි. ඒ සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ ඉදිකිරීම් සමාගම්වලට තමන්ගේ කාර්යය වඩාත් පහසුවෙන් සහ වේගවත්ව කරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීම තමයි අපේ අරමුණ.
මේ “Builders’ Gateway” ආයතන බිහිකිරිම තුළින් මහාපරිමාණ ඉදිකිරීම්වල සිට ඉතාමත් කුඩාම ඉදිකිරීම දක්වා සියලුම ඉදිකිරිම්වලදී බලපාන ගැටලුවලට අදාළ සමාගම් වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම නොමිලේම සිදුකර දීමට මේ ආයතනය මැදිහත් වෙනවා. ඔබේ අවශ්‍යතාවට ප්‍රශ්නයක්, ඉල්ලීමක්, යෝජනාවක් නැත්නම් පැමිණිල්ලක් වැනි ඕනෑම ආකාරයකට අපට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කළ පසු, අදාළ ආයතනවලට යොමුකර වඩාත් පහසුවෙන් එම කටයුතු ඉටු කරදීම තමයි මෙහි අරමුණ. එසේත් නොමැතිව කිසිදු රාජ්‍ය ආයතනයකට බලපෑම් කිරිම මෙයින් සිදුවන්නේ නැහැ. මෙහි ඇති වැදගත්ම කාරණාව නම් මේ “Builders’ Gateway” හි නිලධාරි මණ්ඩලයට පෞද්ගලික ආයතනවල
අවශ්‍යතාව, එහි කටයුතුවල ස්වාභාවය ආදිය වගේම රාජ්‍ය ආයතනවල කටයුතු එහි නීති රීති, ඒවායේ වැඩ කෙරෙන ආකාරය සම්බන්ධයෙන් නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන්
වඩාත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි විශ්වාස කරනවා, මේ ආයතනයේ සේවාවත් ලබාගනිමින් ලබන වසරේ ඉදිකිරිම් ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු වේවි කියලා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අපි මීට මාස දෙකකට පමණ මේ ස්ථානයේදී රාජ්‍ය ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය නැත්නම් වියාසා මධ්‍යස්ථානය ආරම්භ කළා. ඒ කර්මාන්ත ක්ෂේත්රයේ ගැටලු නිරාකරණය කරගැනීමට,
ආදල ව්‍යාපාරික ආයතනවලට සහාය ලබාදීම සඳහායි. ඒ තුළින් කර්මාන්ත ක්ෂේත්රයට ආයෝජන කැඳවා ගැනීම ඉහළ නංවාගැනීම අපේ අපේක්ෂාවයි. කියන්න සතුටුයි මේ වන විට
වියාසා මධ්‍යස්ථානයට ගැටලු 186ක් ලැබී තිබෙනවා. අපි එයින් 150ක් පමණ දැනට විසඳා අවසන් කර තිබෙනවා. ඒ ආකාරයටම ඉදිකිරීම් ක්ෂේත්රයේද විවිධාකාර ගැටලු පැන නගිනවා. ඒවා විසඳාගැනීමට විවිධ රාජ්‍ය ආයතන වලට යමින් ලොකු කාලයක් ගත කිරිමට ව්‍යාපාරික ප්‍රජාවට සිදුව තිබෙනවා. ඒ නිසා ඇතැම් ඉදිකිරීම් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්වයන් නිර්මාණය වී තිබෙනවා. අපි
හිතනවා රාජ්‍ය ඉදිකිරීම් වඩාත් සාර්ථකව කරගෙන යාමේ හැකියාව තිබෙන්නේ පෞද්ගිලක අංශයට කියලා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය භෞතික හා තාක්ෂණික පහසුකම්, අත්දැකීම් වැඩියි. ඒ නිසා ඔවුන් මුහුණ දෙන ගැටලු විසඳාගෙන ඔවුන්ට ඇතිවන බාධා ඉවත් කරගැනීමට සහයෝගය ලබාදී ඉදිකිරීම් කර්මාන්තය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව තමයි, අපි මේ “Builders’ Gateway” ආයතනය ආරම්භ කරන්නේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා
අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට ඉදිකිරිම් හා රියල් ස්ටේට්වලින් සියයට 12ට කට ආසන්න දායකත්වයක් ලබාදී තිබෙනවා. එය තුන්ගුණයකින් වර්ධනය කිරීම තමයි අපේ අරමුණ. ඒ නිසා, ඒ ක්ෂේත්රය වඩාත් විධිමත්ව පවත්වාගෙන යාමට , ඒ සඳහා දායකවන පෞද්ගලික ආයතන මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට, සහය වීම ඉතාමත් අත්‍යාවශ්‍ය කටයුත්තක්. ඔවුන් මුහුණ දෙන ගැටලු රජයේ ආයතන වෙත ඉදිරිපත් කරමින්, ඉල්ලා සිටින්නේ තමන්ට බලපාන බදු ඉවත් කරදෙන්න කියලා නෙවෙයි, තමන්ගේ ඉදිකිරිම කඩිනමින් ආරම්භ කරන්න අවශ්‍ය සහය ලබාදෙන්න කියලයි. මොකද ඔවුන් මේ සඳහා විශාල මුදලක් යොදවනවා. දවසක දෙකක ප්‍රමාදයක් කියන්නෙත් ඒකෙන් ලාභ උපයන්න තිබෙන අවස්ථාව අහිමි කිරීමක්. ඒ නිසා මේ “Builders’ Gateway” ආයතනය ස්ථාපිත කිරීමෙන්, ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල සංවර්ධනයක් ඇති කළ හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා
මේ ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය යටතේ. එය ජනාධිපති ලේකම්වරයාගෙන් නිරන්තර අධීක්ෂනයට ලක්
වෙනවා. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් තිබෙනවා. එහි ලේකම් ජනාධිපති ලේකම්වරයා. අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් 14ක් එයට ඇතුළත්. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්රයේ අපි හඳුනාගත් ව්‍යාපාරික ආයතන 44ක් තිබෙනවා. ඒ එක් ආයතයකින් එක්කෙනා බැගින් එකතු කරගත් උප කමිටුවක්ද අපි පත් කරනවා. එවිට ඔවුන්ට තමන්ගේ ගැටලු සාකච්ඡා කරන්න තවදුරටත් අවස්ථාව ලැබෙනවා. ඔබගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමේදි යම් ගැටලුවක් මතු වුණොත් අපිට දැනුම් දෙන්න. අපි ඒක අපේ කරගෙන ඒක විසඳීමට හැකි ක්‍රියාමාර්ගය කුමක්ද කියාල සොයා
බලලා ඔබට එය විසඳා දෙනවා. එහිදි අපි රාජ්‍ය ආයතනවලට බලපෑම් කර, ඒ ආයතනවල නීතිරිතී කඩකරමින් වැඩ කරන්නේ නැහැ.
මාගා ඉංජිනියරින් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ පියදාස මදරසිංහ මහතා
ඉදිකිරීම් කර්මාන්තයේදී එකිනෙකාට චෝදනා කරගනිමින් ඉන්නවාට වඩා එය ජාතික ආර්ථිකයට එකතු කර ගැනීම කෙරෙහි කල්පනා කළ යුතුයි. ලබන වසරේදි ඉදිකිරීම් ක්ෂේත්රයට රුපියල් බිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මේ මුදලින් ඉදිකිරීම් කර්මාන්තකරුවන් ළග නවතින්නේ සියයට පහක පමණ ප්‍රමාණයක් විතරයි. ඉතිරි ටික විවිධ ක්ෂේත්රවලට ගලායනවා. ඒ නිසා මේ මුදල් වෙන් කිරීම බොහෝ ක්ෂේත්රවල සංවර්ධනයට හේතු වෙනවා. අපි මීට කලින් ඇතැම් අවස්ථාවල ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලපත්‍ර ලබාගන්න වසර හයක පමණ කාලයක් ගත කර තිබෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම විවිධ රජයන්ගෙන් කරපු ඉල්ලීමක් අපේ සිහිනයක් තමයි අද මේ ඉටු වී තිබෙන්නේ. නිදා වැටෙමින් තිබුණ ඉදිකිරිම් කර්මාන්තයට නව පණක් ලබාදීම ගැන අපි සතුටු වෙනවා වගේම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් වෙනුවෙන් මම පොරොන්දු වෙනවා අපට බාරදෙන ව්‍යාපෘති කලට වෙලාවට නියමිත ප්‍රමිතියෙන් යුතුව ඉදිරිපත් කරන බවට.
