Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට ​​දකුණු දෙසින් වූ  ජාත්‍යන්තර මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි  මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙණ ධජ රහිත යාත්‍රාවක් සමඟ විදේශීය ජාතිකයින් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගනු ලැබීය. එම විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද දින (2026 නොවැම්බර් 27) දික්ඕවිට වරාය වෙත ගෙන එනු ලැබීය.  

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ තිබූ  මත්ද්‍රව්‍ය  බවට සැකකෙරෙණ ඇසුරුම් තුනක් (03) එහිදී පරීක්‍ෂා කිරීමේදී, එම ඇසුරුම් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි (03)  ග්‍රෑම් හයසිය හැත්තෑවක (670) පමණ ප්‍රමාණයක් ඇති බවට තහවුරු විය.

අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් හත් දෙනා (07), විදේශීය යාත්‍රාව (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.  

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන,  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික නීති සේවා කොමාණ්ඩර් චතුරිකා ජයමිනී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ  නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඒ යටතේ ජාත්‍යන්තර මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම් කල ධජ රහිත විදේශීය යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් බවත් පවසන ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය ජාතික ආර්ථිකයට, සමාජ සංවර්ධනයට, තරුණ පරපුරට සහ පාසල් දරුවන් වෙත විශාල අහිතකර බලපෑමක් ඇති කර ඇති බවත්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව; වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බවත්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන එකසිය දහසයකට (116) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවත් පවසන ලදි.