Spread the love

නිමල් රාජපක්ෂ-

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුති රාමුවේ (WHO Framework Convention on Tobacco Control – WHO FCTC) ලේකම් කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩෲ බ්ලැක් (Andrew Black) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදී, දුම්කොළ පාලනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පැසසූමට ලක් කරමින් ඇන්ඩෲ බ්ලැක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සිය ප්‍රශංසාව පළ කරන ලදි.

දුම්කොළ වසංගතයට මුහුණ දීම, දුම්පානය අවම කිරීම සහ දුම්කොළ පාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම ලබා ඇති ප්‍රගතිය ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

දුම්කොළ භාවිතය නිසා ඇතිවන විනාශකාරී සෞඛ්‍ය, සමාජීය, පාරිසරික සහ ආර්ථික ප්‍රතිවිපාකවලින් වර්තමාන සහ අනාගත පරපුර ආරක්ෂා කිරීම සඳහා WHO FCTC ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට සහ ඵලදායී දුම්කොළ පාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව සෞඛ්‍ය හආ ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

2026 නොවැම්බර් 24 සිට 26 දක්වා කොළඹදී පැවති, දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මුති රාමුව (WHO FCTC) ක්‍රියාත්මක කිරීමේ දශක දෙකක කාලය ඇගයීමේ සහ අග්නිදිග ආසියානු කලාපයේ එහි බලපෑම වේගවත් කිරීමේ ඒකාබද්ධ WHO–WHO FCTC ලේකම් කාර්යාල තක්සේරු රැස්වීමට සමගාමීව පැවති හමුවකදී ද දුම්කොළ පාලනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පැසසූමට ලක්ව ඇත.

මෙම හමූවේ දී ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය ද ඇගයීමට ලක් කළ අතර, සුවිශේෂී ආයතනික මැදිහත්වීම් සහ පුළුල් දුම්කොළ පාලන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා වන දායකත්වය ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද දුම්කොළ පාලන ප්‍රවේශයන් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බවත්, අනෙකුත් රටවලට තම දුම්කොළ පාලන වැඩසටහන් ශක්තිමත් කිරීමේදී ඉගෙන ගත හැකි වටිනා ආදර්ශ සහ පූර්වාදර්ශ ලෙස ඒවා සැලකෙන බවත් බ්ලැක් මහතා මෙහිදීව වැඩිදුරටත් සඳහන් කළේය.

WHO FCTC ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඇගයීමටත්, ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා ජාතික දුම්කොළ පාලන ප්‍රයත්නයන් පවත්වා ගෙන යාමේ සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡා කිරීමටත් මෙම හමුව විශේෂ අවස්ථාවක් විය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ (SEARO) වෛද්‍ය ජග්දීෂ් කෞර්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාන්ඩව්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, වෛද්‍ය පාලිත අබේකෝන් සහ මහාචාර්ය හේමන්ත අමරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.