Spread the love

නිමල් රාජපක්ෂ-

​දිත්වා සුළි කුණාටුව සිදුවී වසරක් ගතවීම නිමිත්තෙන් මියගිය සහ ආපදාවට පත් සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් පල්ලේගම, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේ දී නොවැම්බර් 29 වැනි දින පැවති වර්ෂ පූර්ණ අනුස්මරණ පුණ්‍යෝත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

​පල්ලේගම, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බඹරගහකන්දේ ඥානසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවති වර්ෂ පූර්ණ පුණ්‍යෝත්සවයෙන් අනතුරුව, “දිත්වා ව්‍යසනයට වසරයි; අභියෝග පරදවා යළි පිබිදෙන මහනුවර” යන තේමාව යටතේ විහාරස්ථානයේ දී පැවති වැඩසටහනට ද අග්‍රාමාත්‍යතුමිය එක් වූවාය. එහිදී දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දූදරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සහ නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

​පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ පදිංචි කළ යුතු සමස්ත සංඛ්‍යාව 234 කි. ඒ අතරින් දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් හේතු මත ඉවත් වන සංඛ්‍යාව 29 ක් වන අතර, කොට්ඨාසයෙන් පිටත පදිංචිය සඳහා යොමු කළ සංඛ්‍යාව 54 කි. තවද කොට්ඨාසයෙන් පිටතට යෑම සඳහා විකල්ප පරීක්ෂා කිරීමට යොමු කර ඇති සංඛ්‍යාව 16 ක් වන අතර, කොට්ඨාසය තුළ දැනට නැවත පදිංචි වී ඇති සංඛ්‍යාව 99 කි.

​මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක්, ප්‍රාදේශීය සභා සභාපති සංජීව එදිරිසිංහ යන මහත්වරුන් සහ උපසභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම්, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.