Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ගෝලීය ආර්ථික පරිච්ඡේදයකට යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් වන GEM SRI LANKA 2027 හි ප්‍රථම නිල ජාත්‍යන්තර හඳුන්වාදීමේ උත්සවය 2026 සැප්තැම්බර් 6 වන දින තායිලන්තයේ බැංකොක් නුවර Holiday Inn Bangkok Silom හෝටලයේදී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වූ මෙම ප්‍රථම ඓතිහාසික ජාත්‍යන්තර එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ අතර, ජාත්‍යන්තර ආයෝජකයන්, ගැනුම්කරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ව්‍යාපාරික නායකයන් සහ මැණික් විද්‍යාඥයන් ඇතුළු 250 කට අධික සම්භාවනීය පිරිසක් ඊට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ බැංකොක් හිදී තැබූ මෙම පියවර හුදෙක් ප්‍රදර්ශනයක් හඳුන්වාදීමට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අනාගත ශක්තිය, ජාත්‍යන්තර තරඟකාරීත්වය සහ ආර්ථික පරිවර්තනය පිළිබඳ තැබූ ප්‍රබල විශ්වාසයේ ප්‍රකාශනයක් වන බවයි. ශ්‍රී ලංකාව යනු තවදුරටත් නොසැකසූ මැණික් අමුද්‍රව්‍ය සපයන රටක් පමණක් නොවන බවත්, වගකීම් සහිත මූලාශ්‍රකරණය, උසස් අගය එකතු කිරීම, ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජන සහ දැනුම සඳහා වන ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව බලගැන්වීම රජයේ ඉදිරි ආර්ථික දැක්ම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දිගුකාලීන වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දේශීය ව්‍යවසායකයන් ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජුව යා කරන විනිවිදභාවයෙන් යුතු විධිමත් පද්ධතියක් නිර්මාණය කරන බව ද හෙතෙම පැවසීය.

මෙම විශේෂ අවස්ථාව සඳහා තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති E. A. S. විජයන්තී එදිරිසිංහ මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය S. P. චමින්ද මහතා, තායිලන්ත ගරු සෙනෙට් සභික Pol. Lt. Gen. Boonchan Nuansai මහතා, Guild Gem Laboratories හි සභාපතිනී Ms. Ruby Liu මහත්මිය, Guild Institute of Gemology හි සභාපති Mr. Andrew Lucas මහතා, Ceylon Gem & Jewellery Traders Association හි සභාපති Mr. Rizwan Nayeem මහතා සහ GEM SRI LANKA හි සභාපති Mr. Hilmy Cassim මහතා ඇතුළු ජාත්‍යන්තර මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ රැසක් එක්ව සිටියහ. “The Source. The Production. The Selection.” යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය මඟින් ශ්‍රී ලාංකේය මැණික් කර්මාන්තයේ ආරම්භක මූලාශ්‍රයේ සිට ලෝක මට්ටමේ නිමැවුමක් දක්වා වන සමස්ත ගමන්මඟ සහ ශිල්පීය කුසලතාව විදහා දැක්වූ අතර, කර්මාන්ත නායකත්ව සාකච්ඡා, තිරසාරභාවය පිළිබඳ ඉදිරිපත් කිරීම් සහ අනුග්‍රාහක ඇගයීම් උත්සවය ද ඊට ඇතුළත් විය. ලොව ප්‍රධානතම මැණික් වෙළඳ මධ්‍යස්ථානයක් වන බැංකොක් හිදී ලත් මෙම ජාත්‍යන්තර ප්‍රසාදයත් සමඟ, GEM SRI LANKA 2027 ප්‍රදර්ශනය 2027 ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.