Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රජයේ අමාත්‍යවරුන් පිරිසක් හමුවී ඇත.

තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක නැවත වරක් තහවුරු කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.