Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ.

සැකකරු කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණි. එම පැමිණිලිවලට අනුව මොහු වංචා කළ මුදල රුපියල් ලක්ෂ 40 ට අධික වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් කිහිපවරක් උත්සහ කළද ඔහු විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරීන් හා කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ නිළධාරින් එක්ව කුච්චවේලි ප්‍රදේශයේ නිවසේ සැගව සිටියදී සැකකරු ඉකුත් 19 දින අත්අඩංගුවට ගන්නා ලදී.

දැනට මෙවැනි චෝදනාවලට අදාළව සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව හා අවිස්සාවේල්ල යන අධිකරණවල නඩු පවතින අතර, තවදුරටත් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබෙමින් පවතී. ඒ අනුව සැකකරු වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට අධික වෙතැයි විමර්ශන නිළධාරීන් විශ්වාස කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මැයි මස 20 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, ඔහු මැයි 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.