නිමල් රාජපක්ෂ-
ශත වසරක් පුරා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අමිල මෙහෙවරක් ඉටු කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (National Institute of Health Sciences – NIHS) සිය ශත වර්ෂීය සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද “NIHS EXPO 2026” අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ විද්‍යායතන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් මහජනතාව සඳහා විවෘත කෙරිණි.
ජූලි 1 වැනිදා ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ශත වර්ෂීය සැමරුම් වැඩසටහන් මාලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ප්‍රදර්ශනය සහ කෞතුකාගාරය විවෘත කිරීම හැඳින්විය හැක. ශත වසරක් පුරා මෙරට මහජන සෞඛ්‍ය සේවාව ගොඩනැඟීමට ඉවහල් වූ දැනුම, අත්දැකීම්, වෘත්තීය උරුමය සහ නවෝත්පාදන අනාගත පරපුර වෙත දායාද කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
1926 වර්ෂයේදී මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පසුගිය ශත වර්ෂය පුරා මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනය, පර්යේෂණ, පුහුණුව, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. එමෙන්ම දේශීය මෙන්ම විදේශීය සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ප්රමුඛ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ ප්රගමනයට ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
ජූලි 30, 31 සහ අගෝස්තු 1 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා නොමිලේ පැවැත්වෙන “NIHS EXPO 2026” අධ්‍යාපනික ප්‍රදර්ශනය මහජනතාව, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා සඳහා විවෘත කර තිබේ.
මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ ආරම්භයේ සිට මේ දක්වා වූ විකාශනය, රෝග නිවාරණ වැඩසටහන්, මව සහ දරුවාගේ සෞඛ්‍ය, පෝෂණය, පාරිසරික සෞඛ්‍ය, සෞඛ්‍ය අධ්‍යාපනය, වසංගත පාලනය, නවීන මහජන සෞඛ්‍ය ප්රවණතා සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ශත වර්ෂයක සේවා මෙහෙවර පිළිබඳ විවිධ ප්‍රදර්ශන අංග මහජනතාව වෙත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ ශත වර්ෂයක විකාශනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම ප්‍රදර්ශනය මහඟු අවස්ථාවක් වනු ඇත.
