Spread the love

නිමල් රාජපක්ෂ

“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

දිට්වා ආපදාවෙන් අනතුරුව යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව සහ 2026 ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධව මෙන්ම, “Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අර්ධ හානියට පත් නිවාස 50,554ක් වෙනුවෙන් රුපියල් මිලියන 13,505ක් පූර්ණ හානියට පත් නිවාස 49,18ක් සඳහා රුපියල් මිලියන 11,510ක් මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය විය.

හානියට පත්ව ඇති මහාමාර්ග, දුම්රිය මාර්ග, පාලම් ඇතුළු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සහ ඊට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි. අර්ධ හානියට සහ පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය, නැවත පදිංචි කිරීම්, සහන කඳවුරුවල තවදුරටත් රැඳී සිටින පිරිස් සම්බන්ධව ගත යුතු පියවර කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

දිට්වා ආපදාවට පත් ප්‍රදේශවලටම ගොස් වත්මන් තත්ත්වය සොයා බලන ලෙසට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, ජනතාවගේ දෛනික ජනජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පෙන්වා දුන්නාය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අභයරත්න, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර යන මහත්වරු සහ කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.