නිමල් රාජපක්ෂ
ජනතාව තවමත් මාධ්‍යයෙන් අපේක්ෂා කරනුයේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka–India Media Friendship Association – SLIMFA) සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය මෙවර දෙවන අදියර ලෙස පැවැත්වෙන අතර, දෙරටේ මාධ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ වෙනස්වන මාධ්‍ය පරිසරය පිළිබඳ නව අදහස් හා අවබෝධයන් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා – ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ දෙරටේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් අතර දැනුම, අත්දැකීම් සහ වෘත්තීය සබඳතා ශක්තිමත් කරන වැදගත් වේදිකාවක් නිර්මාණය කර ඇති බවයි.
“වෙනස්වන ලෝකයක අදාළත්වය රැකගැනීම” යන මෙවර මාධ්‍ය සම්මන්ත්‍රණයේ තේමාව වර්තමාන මාධ්‍ය ක්ෂේත්රය මුහුණ දෙන යථාර්ථය මැනවින් නිරූපණය කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු වැළදගැනීමේ රටාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, වර්තමානයේ ප්‍රේක්ෂකයන් පුවත් ලබාගන්නා පාර්ශ්වයක් පමණක් නොව ඒවා විමර්ශනය කරන, සත්‍යාපනය කරන සහ ඇතැම් අවස්ථාවලදී පුවත් නිර්මාණයට දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බවත් පැවසීය.
