Spread the love

නිමල් රාජපක්ෂ-


​ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා නව ප්‍රවේශයකින් ශක්තිමත් කිරීමේ අරමුණින් ‘Australia Sri Lanka Business Forum’ (ASLBF) මගින් සංවිධානය කළ ‘Sri Lankan Entrepreneurs’ Night 2026’ ව්‍යවසායක සහ ආයෝජක සමුළුව ඊයේ (15) දින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

​මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති නව ආර්ථික සහ ආයෝජන රාමුව පිළිබඳව ඔස්ට්‍රේලියානු ව්‍යවසායකයින් සහ ආයෝජකයින් හමුවේ කරුණු පැහැදිලි කළේය.

පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ජන බලවේග රජය විසින් දූෂණය පාලනය කරමින් සහ යහපාලන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ආයෝජකයින්ට හිතකාමී, විශ්වාසනීය සහ විනිවිදභාවයෙන් යුතු නව ආර්ථික පරිසරයක් මවුබිම තුළ ගොඩනගා ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

​තවද, ආයෝජකයින් දිරිගන්වමින් වරාය ප්‍රවේශ පුළුල් කිරීම, මහාමාර්ග ජාලය සංවර්ධනය කිරීම, විදුලි දුම්රිය (Electric Rail) සහ මෙට්‍රෝ බස් පද්ධති (Metro Bus Systems) හඳුන්වාදෙමින් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කිරීම මෙන්ම දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් සාධාරණ මිලකට බලශක්තිය සැපයීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛත්වය දී ක්‍රියාකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

සැපයුම් දාම (Logistics) සහ සංචාරක ක්ෂේත්‍රයන් කේන්ද්‍ර කරගනිමින් ඕනෑම පරිමාණයක හෝ ක්ෂේත්‍රයක ආයෝජනයක් සඳහා මෙරට දොරටු විවෘතව පවතින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට අත්වැල් බැඳගන්නා ලෙසත් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

​Australia Sri Lanka Business Forum හි සභාපති මනෝ අමුණුගම මහතා ඇතුළු විධායක කමිටුවේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය (Ms. Cassandra Fernando), මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා, NPP ඔස්ට්‍රේලියානු සංවිධායක පුබුදු සමරවීර මහතා ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් ඇතුළු 350කට අධික පිරිසක් එක්ව සිටියහ