නිමල් රාජපක්ෂ –
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය පෝලියෝ තුරන් කිරීම සහතික කිරීමේ කොමිසමේ (SEA-RCCPE) 19 වන සැසිවාරය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ Cinnamon Life හොටල් පරිශ්‍රයේ දී අද (24) පෙරවරුවේ දී ආරම්භ විය.
ඉන්දියාව, ඉන්දුනීසියාව, උතුරු කොරියාව (Democratic People’s Republic of Korea), ශ්‍රී ලංකාව, තායිලන්තය, නැගෙනහිර ටිමෝරය (Timor Leste), නේපාලය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, මියන්මාරය යන රටවල් නියෝජනය කරමින් පැමිණි විශේෂඥයන් මෙහි දී කලාපයේ පෝලියෝ රෝගයෙන් තොරව තත්ත්වය පවත්වාගෙන යාම, අභියෝග හා අවදානම් කළමනාකරණය, පාලන කටයුතු ප්‍රමුඛස්ථානයේ තැබීම,ගෝලීයව පෝලියෝ තුරන් කිරීමේ වර්ධනයන් පිළිබඳව, පාලනය කිරීමේ කමිටු යාවත්කාලීන කිරීම, කාර්ය සාධනය සමාලෝචනය කිරීම මෙන්ම නිර්දේශ සැපයීම ඇතුළුව විවිධ පැතිකඩයන් ඔස්සේ මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමටත් ඊට අදාළව අවශ්‍යව තීරණ ගැනීමටත් නියමිතය.
ඉහත රටවල් නියෝජනය කරමින් සියයකට ආසන්න විද්වතුන් පිරිසක් මෙම සැසිවාරය සදහා සහභාගිවී සිටි අතර සැසිවාරය ලබන 26 වන දා දක්වා පැවැත්වේ.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය පෝලියෝ තුරන් කිරීමේ කොමිසමේ 19 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට විද්වතුන් සියලු දෙනා පිළිගනිමින් මෙම වැදගත් කලාපීය සංසදය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට ලැබීම සැබවින්ම ගෞරවයක් බව පැවසීය.
මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව 1926 දක්වා අතීතයට දිවයන බව සිහිපත්කළ අමාත්‍යවරයා එය රටවල් බොහෝමයකට ආදර්ශයක් බවට පත්ව ඇති බවත්, එය ප්‍රජා පාදක ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් බවද පැවසීය.
2014 වසරේ සිට කලාපය පෝලියෝ රෝගයෙන් තොර කලාපයක් ලෙස නම්කර ඇති බවත්, මෙරට තුළ ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ක්‍රියාත්මක බවද පැවසීය. මෙම සාර්ථකත්වයට පදනම් වී ඇත්තේ පසුගිය සියවස තුළ ගොඩනගා ගත් ශක්තිමත් මහජන සෞඛ්‍ය පදනම බව ද සිහිපත් කළ අමාත්‍යවරයා නිරන්තර සුපරීක්ෂාකාරිත්වය, තිරසාර කැපවීම පෝලියෝ වැළැක්වීම සදහා නිරන්තරයෙන් ඉවහල්වන බවද පැවසීය.
අද ආරම්භ කරන ලද මෙම සැසිවාරයේ දින තුන තුළ, කලාපීය සහ ජාතික ප්‍රගතිය පිළිබද සමාලෝචනය, අවදානම් තත්ත්වයන්, පාලනය කිරීමේ උත්සාහයන්, සමාලෝචනය කිරීම මෙන්ම නිර්දේශ සැපයීම ඇතුළු අංශ පිළිබදව අවධානය යොමුකර කටයුතු කරනු ඇති බවත්, පෝලියෝ වලින් නිදහස් ලෝකයක් කරා ගෝලීය උත්සාහය ඉදිරියට ගෙන යාම සඳහා මෙම 19වන සැසිය බෙහෙවින් ඉවහල් වනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
