Spread the love


පාර්ලිමේන්තු මන්ත්‍රි චානක මාදුගොඩ මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ( 21) පෙරවරුවේ අසන ලද ප්‍රශ්නයට සහ අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම සිදු කරන ලදී.

(අ) (i) ගාල්ල, බෙලිගහ, නව අධිකරණ සංකීර්ණය 2024 ජූලි 19 දින විවෘත කරන ලද නමුත් මේ වනතෙක් එහි නීති කෘත්‍යයන් ආරම්භ නොකිරීමට හේතු කවරේද;
ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වේ. එම ආයතනය වසර කිහිපයක සිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබීම හේතුවෙන් මෙම සංකීර්ණයේ විදුලි හා යාන්ත්‍රික පද්ධතිවල වැඩකටයුතු තවදුරටත් නිම කිරීමට ඇත. අධිකරණ කොටස් වශයෙන් විතැන් කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති බැවින් අධිකරණ සංකීර්ණයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමෙන් තොරව නව අධිකරණ සංකීර්ණය වෙත අධිකරණ විතැන් කළ නොහැක. එබැවින් මේ දක්වා එහි නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.


(ii) එම අධිකරණ සංකීර්ණයේ නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබන දින වකවානු කවරේද;
සියළු වැඩ 2026 වසරේ ජූනි මස මුල් සතිය පමණ වන විට අවසන් කර, නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට ගොඩනැගිලි අධිකරණ වෙත භාර දීමට සැලසුම් කර ඇත.
(iii) ඉහත සඳහන් නව සංකිර්ණයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ වන විට අධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලබන ගාල්ල කොටුව පෞරාණික ගොඩනැගිලි හා එම පරිශ්‍රය භාවිත කිරීමට අපේක්ෂිත අරමුණු කවරේද ;
මේ වන විට ගාල්ල කොටුවේ අධිකරණ ස්ථාපිත කර ඇති ගොඩනැගිලි මෙම අමාත්‍යාංශය වෙත පවරා දීමක් සිදු කර නොමැති අතර එම ගොඩනැගිලිවල අයිතිය මෙම අමාත්‍යාංශය සතු නොවේ. ගාල්ල නව අධිකරණ සංකීර්ණය වෙත ගාල්ල කොටුවේ පිහිටා ඇති අධිකරණ සියල්ල විතැන් කිරීමෙන් පසුව එම ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දෙන මෙන් එම අධිකාරිය මෙම අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් කර ඇත.
නමුත් ඉහත සඳහන් කල පරිදී එම ගොඩනැගිලිවල අයිතිය මෙම අමාත්‍යාංශය සතු නොවන බැවින් සුදුසු කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කිරීමට හැකියාක් පවතින බවත් එම දේපළ පවරා දීම සම්බන්ධව එකගතාවය අදාළ ඉඩම් සතු ආයතනවලින් ලබා ගැනීමට සිදුවන බවත් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනටමත් මෙම අමාත්‍යාංශය මඟින් දැනුවත් කර ඇත.

එමෙන්ම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කල ගාල්ල කොටුව තුළ ක්‍රියාත්මක අධිකරණ කටයුතු ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදි කර ඇති ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම, ගාල්ල කොටුවේ පවතින පැරණී උසාවි සංකීර්ණ ගොඩනැගිලි (මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි) නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සහ අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ සංචාරක භාවිතය සඳහා යොදා ගැනීම යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලද අංක අමප/26/0624/809/071 හා 2026.04.06 දිනැති තීරණය අනුව මහාධිකරණ ගොඩනැගිල්ල සහ ම‌හේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි ඇතුළු ඉඩම් රජයේ ඉඩම් ආඥා පනතේ 6 වන වගන්තියේ (1) වන උප වගන්තියේ විධිවිධාන පරිදී නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවට ද වැඩිදුරටත් දන්වා සිටිමි.
(iv) ගාල්ල, බෙලිගහ, නව අධිකරණ සංකීර්ණයේ ගොඩනැගිලි සහ භූමිය මේ වන තෙක් භාවිතයට නොගැනීමෙන් සිදුවී ඇති අලාභය කොපමණද;
මෙම අධිකරණ සංකීර්ණයේ ඉඩ පහසුකම් සපයා ඇති අධිකරණ කිසිවක් කුලී ගොඩනැගිලි වල පවත්වාගෙන යනු නොලබන බැවින්, මේ වන තෙක් අධිකරණ සංකීර්ණය භාවිතයට නොගැනීම හේතුවෙන් රජයට අලාභයක් සිදුව නොමැත. ගාල්ල බෙලිගහ නව අධිකරණ සංකීර්ණයේ සමහර කොටස්වල ඉදිකිරීම් කටයුතු තවදුරටත් සිදුවන බැවින්, එම ගොඩනැගිලි අධිකරණ අමාත්‍යාංශය වෙත භාරගෙන නොමැත. එබැවින් මෙම ගොඩනැගිලි හා භූමිය නඩත්තු කර පවත්වාගෙන යාමට අමාත්‍යාංශය මගින් වියදම් දරනු නොලැබේ.
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අදාළ නොවේ.