දේවින්ද පිණිදිය
පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ (COL) 43 වැනි පාලක මණ්ඩල රැස්වීමට (2026) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිදු කරන නිල සංචාරය අතරතුර මැයි 20 වන දින එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය.
මෙහිදී, ‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුවෙන් ශ්‍රි ලංකාවට සිදු වූ බලපෑම් හමුවේ, නැවත ගොඩනැඟීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා එක්සත් රාජධානිය ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ස්තූතිය පිරිනැමුවාය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ අපනයන කටයුතු ඉහළ නැංවීම සඳහා එක්සත් රාජධානිය ලබා දෙන දායකත්වය ද ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනය සහ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය දක්වන උනන්දුව මෙන්ම ශ්‍රී ලංකාවේ සාධනීය ආර්ථික ගමන් මඟ පිළිබඳව ද එක්සත් රාජධානියේ රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළාය.
වත්මන් ගෝලීය භූ-දේශපාලනික වර්ධනයන්, බලශක්ති ක්ෂේත්රයේ පවතින අභියෝග මෙන්ම කලාපීය සන්නිවේදනය සහ දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
සංක්‍රමණ පද්ධතිවල සාධාරණත්වය, පැහැදිලිභාවය සහ අඛණ්ඩතාව සහතික කරන අතරම, ව්‍යුහගත අධ්‍යයන සංචලතා රාමු (academic mobility frameworks) ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශවයේම අවධානය යොමු විය.
එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිලිබඳව ද දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක්ව සිටියහ.
