Spread the love

නිමල් රාජපක්ෂ-

මුර සංචාරයක නිරතව සිටියදී, 2026 අගෝස්තු මස 15 වැනි දින අනපේක්ෂිතව අනතුරට පත්ව මුහුදුබත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ P 4447 වේග ප්‍රහාරක මුර යාත්‍රාව, නාවික හමුදාව සිදුකළ  විශේෂ කිමිදුම් හා ගොඩගැනීමේ මෙහෙයුමකින්, 2026 සැප්තැම්බර් මස 11 වැනි දින සාර්ථකව ගොඩගෙන ඉදිරි කටයුතු සඳහා කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

P 4447 යාත්‍රාව ගොඩගැනීම එම සිදුවීමට අදාල අවසන්  අදියර වූ  අතර, එහි පළමු අදියර  ලෙස 2026 අගෝස්තු මස 15 වැනි දින P 4447 යාත්‍රාව අනතුරට පත්වීමෙන් ආපදාවට පත් එම යාත්‍රාවේ කාර්යය මණ්ඩලය සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ අඟුලාන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව හා එක්ව සිදුකෙරිණි. එම සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ එකොලොස් දෙනෙකු (11) නිරුපද්‍රිතව මුදාගැනීම සහ යාත්‍රාවේ දෙවන අණභාර නිලධාරීගේ දේහය 2026 සැප්තැම්බර් මස 04 වැනි දින සොයා ගැනීමත් සමඟ සාර්ථකව අවසන් විය.

ඒ අනුව, අවසන්  අදියර ලෙස, නාවික හමුදා කිමිදුම් හා ගොඩගැනීමේ කණ්ඩායම් විසින්, පවත්නා මුහුදේ රළු ස්වභාවය සහ දියයට තත්වයන් හමුවේ ක්‍රමිකව හා සම්මත ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කරමින්  ක්‍රියාත්මක කළ දීර්ඝ හා සංකීර්ණ මෙහෙයුමකින් අනතුරුව, මුහුදු පතුලේ අඩි 80ක පමණ ගැඹුරක තිබූ    P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව සාර්ථකව මෙලෙස ගොඩගැනීමට සමත් විය.

තවද, නාවික හමුදාවේ වෘත්තීයභාවය, ශිල්පීය දක්ෂතාවය සහ සියළුම  ඉංජිනේරු තාක්‍ෂණික අංශයන්ගේ සම්බන්ධීකරණය හා දායකත්වය තුලින් ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් වූ P 4447 ගොඩගැනීමේ මෙහෙයුමේදී, නාවික හමුදා සමුද්‍රීය ඉංජිනේරු, නැව්බඳ කාර්මික, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ඇතුළු තාක්‍ෂණික අංශ  සහ කිමිදුම් හා ගොඩගැනීමේ කණ්ඩායම් විසින් සිය විශේෂඥ දැනුම, තාක්‍ෂණික හැකියාවන් සහ මෙහෙයුම් අත්දැකීම් උපයෝගී කර ගනිමින් යාත්‍රාව ක්‍රමානුකූලව මුහුදු පතුලේ සිට මතුපිටට ගෙන ඒම සිදුකරන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමේ තාක්‍ෂණික හා විශේෂඥ ශිල්පීය දායකත්වයද සුවිශේෂී පිටිවහලක් විය.