Spread the love

ජාතික අනතුරු නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව හෙට (07) දිනයේ සිට 11 වැනි දිනය දක්වා මෙම ජාතික අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මකවෙයි.

එහිදී ජූලි 7 වැනි දින මාර්ග අනතුරු වැළැක්වීම, ජූලි 08 වැනි දින සේවා ස්ථානයන්හී අනතුරු වැළැක්වීම, ජූලි 09 නිවෙස් සහ වැඩිහිටි නිවාසවලදී අනතුරු වැළැක්වීම, ජූලි 10 දියේ ගිලීම්වලින් වන අනතුරු වැළැක්වීම, සහ ජූලි 11 වැනි දිනය පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

මෙම කාලය තුළදී, අනතුරු නිවාරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, අනතුරු සිදුවීමට අවදානමක් ඇති විවිධ ස්ථාන පරීක්ෂා කිරීමටත්, ඉදිරීයේදී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරේ. 

මේ අතර මෙරට සෑම වසරකම සමස්ථ ජනහනයෙන් පුද්ගලයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු ආකාරයේ අනතුරකට පත්විය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එනම් සෑම විනාඩියකටම අවම වශයෙන් ශ්‍රී ලාංකිකයින් 6-8 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යවන ආකාරයේ අනතුරක් සිදුවිය හැකි බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ එදිනෙදා ජීවිතයේදී සිදුවන අනතුරු සැළකූ විට සෑම ශ්‍රී ලාංකිකයෙකුම සෑම වසරකම අවම වශයෙන් එක් අනතුරකට හෝ ලක් විය හැකි බවය.