Spread the love

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ (18) රාත්‍රී කාලයේ, මන්නාරම උතුර සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නිතී විරෝධි ධීවර කටයුතු වැලැක්විම සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම සඳහා නීති විරෝධි ධිවර කටයුතු මඟින් සිදුවන අහිතකර බැලපෑම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එම නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම සහ ධීවර ප්‍රජාවගේ ආර්ථික සුරක්‍ෂිතතාවය හා සුභසිද්ධිය වෙනුවෙන් වන සාමූහික හා ශක්තිමත් ප්‍රවේශය මෙන්ම ස්ථිර කැපවීමද අවධාරණය කෙරේ.

මෙම මෙහෙයුම් මඟින් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දසදෙනා (10) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත්, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස්දෙනා (12) ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙතත් භාරදීමට නියමිතව ඇත.