2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය මැයි 11 වන දින සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණ කර තිබේ.
නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026 අප්‍රේල් 28 වන දින ඉදිරිපත් කරන ලද පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන මෙම ගාස්තු සංශෝධනය සදහා පියවර ගන්නා ලදී.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවත්වු මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනා සහ රජයේ සහනාධාර ප්‍රතිපත්තිය ආදි කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද දින ගාස්තු සංශෝධනය පිළිබද අවසන් තීරණයට එළඹිණි.
මෙම ගාස්තු සංශෝධනයට සමගාමීව විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ විදුලි බල කර්මාන්තයේ උන්නතිය සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් විශේෂ තීන්දු ගණනාවක්ද ක්‍රියාවට නැගීමට තීරණය කර ඇත. රජය විසින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට ලබාදෙන රුපියල් බිලියන 15ක සහනාධාරය ඉලක්කගත පාරිභෝගිකයින්ට ලැබෙන පරිදි එම ගාස්තු සංශෝධනය ක්‍රියාවට නගා ඇත. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 95කට ගාස්තු වැඩි නොවන ආකාරයට මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීම විශේෂත්වයකි.
- ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන කාණ්ඩයේ මාසික පරිභෝජනය ඒකක 180ට අඩු පාරිභෝගිකයින් සදහා විදුලි ගාස්තු වැඩි නොවේ.
- කර්මාන්ත හෝටල් සහ පොදු කාර්ය කාණ්ඩයේ අංශයේ පළමු උප කාණ්ඩයටද (කුඩා හා මධ්‍යම ව්‍යාපාර) ගාස්තු වැඩි නොවේ
ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරේක විදුලි ජනන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුලත් නොකිරීමට තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට නියෝගයක්ද නිකුත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ගල් අගුරු තත්වය හේතුවෙන් සිදුවන අතිරේක පිරිවැය නැෂනල් සිස්ටම ඔපරේටර් සමාගම විසින් ඉලෙක්ට්‍රිසිටි ජෙනරේටර් සමාගමට නොගෙවිය යුතු අතර අදාල අතිරේක පිරිවැය තොරතුරු මාසිකව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කල යුතු බවටද කොන්දේසියක් පනවා ඇත.
ඊට අමතරව පහත සදහන් විශේෂ තීන්දු ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගන්නා ලදී.
- විදුලි ජනනය සදහා සාධාරණ මිල ගණන් යටතේ ඉංධන මිලදී ගැනීම සදහා ගිවිසුම් ගත වන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට නිකුත් කර තිබු බලාත්මක කිරීමේ නියෝගය කඩකිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
- විදුලි ජනනය සදහා මිලදී ගන්නා ඉන්ධන සදහා මිල නියම කිරීමේ විනිවිද භාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විභාගයක් පැවත්වීමට
- විදුලි ජනනය සදහා භාවිත කෙරෙන ඉන්ධන මිල පාරදෘශ්‍ය ක්‍රමයකට තීරණය කිරීම සදහා ගිවිසුම්ගත විය යුතු බවට පුද්ගලික බලාගාරවලට නියෝග කිරීම
- විදුලිය මිලදී ගැනීම සහ සැපයීමට අදාලව 2026 සැප්තැම්බර් 9 වැනි දිනට පෙර ගිවිසුම් ගතවිය යුතු බවට නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් සමාගම සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට බලාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කිරීම
මෙම ගාස්තු සංශෝධනයේදී සියයට 18ක ගාස්තු වැඩිවීමක් පහත සදහන් පාරිභෝගික කාණ්ඩවලට බලාත්මක වේ.
| පාරිභෝගික කාණ්ඩය | ප්‍රතිශතක ඉහල යාම |
| ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන අංශයේ ඒකක 180ට වඩා වැඩි ඉහල පරිභෝජනයක් ඇති පාරිභෝගිකයින් | 18 % |
| පොදු කාර්ය අංශයේ 2 සහ 3 යන අනුකාණ්ඩ | |
| රාජ්‍ය ආයතන1, 2, 3 යන උප කාණ්ඩ | |
| පොදු කාර්ය අංශයේ උප කාණ්ඩ 2 සහ 3 | |
| හෝටල් අංශයේ උප කාණ්ඩ 2 සහ 3 | |
| කර්මාන්ත අංශයේ උප කාණ්ඩ 2 සහ 3 |
මෙම ගාස්තු සංශෝධනයට සමගාමීව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල කර්මාන්තයේ බලපත්‍ර ලාභීන්ට පහත සදහන් වැඩිදුර කොන්දේසි ද පැනවීමට පියවර ගෙන ඇත.
- ආනයනික ද්‍රව පොසිල ඉංධන මත රදාපැවත්ම ඉවත්කිරීම සදහා නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් 2026 දී විදුලි ජනන සැළැස්ම සංශෝධනය කර 2030 වන විට මෙම ඉලක්කය ලගා කර ගත යුතුය.
- 2030ට පෙර විදුලි පාරිභෝගිකයින්ගේ මට්ටමින් කෙටි හා මධ්‍යකාලීන බැටරි ගබඩා ප්‍රවර්ධනයට පියවර ගත යුතු ය
- බලපත්‍ර ලාභීන් විසින් නිසි කලට නිවැරැදි ලෙස ගාස්තු සංශෝධන වලට අදාල තොරතුරු ඉදිරිපත් කල යුතු බව සහ ප්‍රමාද වී කෙරෙන ඉදිරිපත් කිරීම් සහ දෝෂ සහිත ඉදිරිපත්කිරීම් හේතුවෙන් මතුවන හිගයන් වල වගකීම බලපත්‍රලාභීන් විසින් දැරිය යුතු අතර එම හිගයන් පාරිභෝගකයින්ගෙන් අයකර ගැනීමට ඉඩ දෙනු නොලැබේ.
- විදුලි ගාස්තු වලදී ලැබෙන අතිරික්ත ප්‍රතිපාදන ඉදිරි ගාස්තු වලදී පාරිභෝගිකයින් වෙත සම්ප්‍රේශනය තහවුරු කිරීම සදහා එම මුදල් වෙනත් අවශ්‍යතා සදහා වියදම් කිරීම වැලැක්වීමට කොන්දේසි
වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (077 2 943 193) අමතන්න

