Spread the love

.

නිමල් රාජපක්ෂ

අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත් විජිත පාලනයෙන් 1948 වසරේදී අපි නිදහස ලැබුවා. ඒ වගේම සියවස් ගණනක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කදුළු දහදිය මෙම මාතෘභූමිය වෙනුවෙන් පූජා කළා. එදා ඒ අපේ මුතුන් මිත්තන්ගේ ධෛර්ය සම්පන්න විශ්වාසනීය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේම වූ ජනතා පරමාධිපත්‍යයක හිමිකාරිත්වය හිමි වුණා. 1948 වසර යනු අනේකවිධ කැපකිරීම් කරන ලද අපේ විරුවන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසුවේ 78 වන ජාතික නිදහස් දින උළෙල අමතමිණි.

තව දුරටත් නිදහස් දින උළෙල අමතමින්,

විශේෂයෙන්ම, අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධිවලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරමින් අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවෙයි. එහෙත් යමෙක් මාතෘ භූමිය වෙනුවෙන්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම්, ඔවුන් සැබැවින්ම වීරෝධාර විරුවන් බවට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන් යෙදෙන්නේ ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයක.

අද අපි දෙපය තබා සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මුතුන් මිත්තන්, සහෝදර සහෝදරියන්ගේ ලේ, කදුළු දහදියවලින් තෙත් වී තිබෙනවා. එම සියලු දෙනා හැමදාමත් අපේ හදවත්වල වීරත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අද දිනයේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සියලු වීරවරයන්, වීරවරියන් වෙනුවෙන් අපේ උත්තමාචාරය සහ ගෞරවය පුද කළ යුතුයි.

අපි නිදහසින් පසුව 78 වසරක් ගමන් කර තිබෙනවා. එහෙත් මා හිතනවා අපේ නිදහසේ ඉතාමත් වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපිට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මතයි. මා හිතනවා අපිට නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන සහ අරගලය තිබෙන්නේ ඔබ අප සහ මා තුළමයි කියා මම විශ්වාස කරනවා.

විශේෂයෙන් මෙවර නිදහස් දිනයේ අපේ ප්‍රධාන තේමා පාඨය වූයේ “ගොඩනඟමු ශ්‍රී ලංකා යන්නයි. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය සහ නිදහස යන ප්‍රතිමූර්තින් මත යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එම යළි ගොඩනැඟීමේදී අපේ සාරය බවට පත් කර ගත යුත්තේ කුමක්ද? අපි ඉතා පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදි මුතුන් මිත්තන් එම යුගයට ගැළපෙන ආකාරයට ඉතාමත් ඉහළ තාක්ෂණ දැනුමකින් හෙබි බව අපේ ඉතිහාසය පෙන්වා දෙනවා. අපි මහා පෞඪත්වයකට, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.

ඒ වගේම මෑත ඉතිහාසයේ අපි බැහැර කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම අත්පත් කරගත් සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමඟ තිබෙන ඓන්ද්‍රීය සබඳතායි. අපේ ජාතිය ගොඩනැගීමේදී නිදහස විසින් එක් කරනු ලැබ තිබෙන මහා සාරය මේ මහපොළව මත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ආර්ථිකය ගොඩනැඟීමයි. එය හුදු මාතෘ භූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවෙයි. අපේ මාතෘ භූමියේ, අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි.

නිදහසින් පසු, ගෙවණු 78 වසර තුළ ලබාගත් ජය සහ පරාජයන් තිබෙනවා. හොඳ වගේම නරක තිබෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිළෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගැනීමට බිය වන්නේද නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප ඔබ සතුව තිබෙන බව මම විශ්වාස කරනවා.

අපි පළමුවෙන්ම අපේ ශක්‍යතා සහ හැකියා පෙළගස්වා ගතහොත් අපිට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපි මහා සමුද්‍රීය කලාපයකට හිමිකම් කියන බව කිව හැකියි.  ඒ වගේම ඉතාමත් හොද දේශපාලන කලාපයක පිහිටා තිබෙන බව සහ අපි රටක් ලෙස ස්වාභාවික සම්පත්වලින් අනූන බව කිව හැකියි. එහෙත් අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහානර්ඝ සම්පත වන්නේ අපේ රටේ මානව සම්පතයි. ඒ නිසා අපේ රට ගොඩනැඟීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම්, අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ වූ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතීන්, බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කර ගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි.

විශේෂයෙන්ම  කලාව, සාහිත්‍යය, ඉතිහාසය වගේම නව තාක්ෂණය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් උසුළන බව අපි කවුරුත් දන්නවා. එසේ නම් දැනුමෙන්, සහකම්පනයෙන් සහ නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනූන මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එය නිර්මාණය කිරීමට නම් අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගය ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයක් එම නව මිනිසෙක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට බාධා කරනවාද ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය නව මානවයා නිර්මාණය කිරීමට අවශ්‍ය පරිවර්තනීය කාර්යභාරය ඉටු කිරීමට අපි සූදානම්. ඒ සඳහා මේ රටේ ජනතාවගේ සහාය ලැබෙන බව මම විශ්වාස කරනවා.

ඒ වගේම, අපි සතුව තිබෙන මේ මානව සම්පතේ ශක්තිය රැඳි පවතින්නේ සමගිය මතයි. අපි බෙදුණොත් අපේ ශක්තීන් දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය,ක්‍රෝධය, ගැටුම නිර්මාණය වුවහොත් අපේ ප්‍රධාන ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කිහිපයක් අදහන ජනතාවක් සිටින රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කිහිපයකින් හෙබි ජනතාවක්. විශ්වාස, සංස්කෘතින්, ඇදහීම්වල වෙනස්කම් තිබෙනවා. මෙම වෙනස්කම් ගැටුම වෙනුවෙන් උපයෝගී කර ගත හැකියි. මේ වෙනස්කම් අපිට අනෙකාට එරෙහිව අවියක් ලෙස ඔසවා තැබිය හැකියි. හැබැයි, එය අපේ ශක්තීන් දුබල කර ගැනීමක්. ඒ නිසා අපේ පරමාර්ථය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කරමින් සියලු ජන කණ්ඩායම්වල අනන්‍යතාව පිළිගනිමින්,එහෙත් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි අපේක්ෂා කරන නව පරිවර්තනීය යුගය ගොඩනැඟීමයි.

අපේ ශබ්දකෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා, අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය නිසා සිදු විය හැක්කේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංව විනාශ කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවත්, අපේ රටේ ජාතික සමගිය අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය ලෙස ගොඩනඟන බවත් මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කරන්න කැමතියි.

ශක්තිමත් මානව සම්පතක් ගොඩනැඟීම, සමගිය නිර්මාණය කර ගැනීම වගේම, ඒ සියලුදෙනාට නීතියේ විධානයේ ආධිපත්‍යය සමානාත්මතාවෙන් යුතුව සාධාරණව ඉටු කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම සෑම දෙනාම නීතිය යන රේඛාවට යටින් සිටිය යුතුයි. පොදු පුරවැසියා තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි. සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේක්ෂා කරන බව අපි දන්නවා. එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හරින, බිඳ දමන ලද අයවලුන් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවාට බිය බවත් අපි දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේදී ගොඩනඟමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බව අපි විශ්වාස කරනවා.

ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී වර්තමානයේ ජිවත් වන අපේ පරම්පරාව වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යය අපි ගොඩනැඟිය යුතුයි. අපි මෑත කාලයේ අත්විදි සුළි කුණාටුව දෙස බලන්න. නාය යාම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. විශේෂයෙන් අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය රූරා ගලා හැළෙන ගංගා පද්ධති තමයි මේ මධ්‍යම කඳුකරයට ජීවය කැටුව එන්නේ. මධ්‍යම කඳුකරය වෙත වැටෙන මහා වර්ෂාපතනය මේ මාතෘභුමියට අවශ්‍ය සෞභාග්‍යය ගෙනැවිත් දෙනවා. එහෙත් අපි අපේ ජීවිත කාලය තුළම අත්දකිමින් සිටිනවා මධ්‍යම කඳුකරයට ඇති වී තිබෙන විනාශයේ බරපතළ බව.