Spread the love

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ගේ දියණියත් බෑණාත්, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුත්‍රයාත් අත්අඩංගුවට ගැනීමට මුල්වූ කොටස් එකලස් කළ බව කියැවෙන ජිප් රථය එංගලන්තයේ සිට මෙරටට නීත්‍යානුකූලව ගෙන්වන ලද ජිප් රථයක ලියාපදිංචි තොරතුරු ඇතුලත්කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

සැබෑ ජිප් රථයේ වර්ණය හැඩය මෙන්ම වර්ගයට මෙම ජිප් රථය සැසඳෙන්නේ නැති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැබෑ ජිප් රථය එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක් විසින් කලකට පෙර මෙරටට ඔහු පැමිණෙන විට රැගෙන ආ එකකි.

ඒ නිසි ක්‍රමවේදයට අනුව මෙරටට ඔහු රැගෙන විත් මෙරට රැදී සිටින මාස 06ක කාලය තුළ පරිහරණය කර නැවත එංගලන්තයට යන විට රැගෙන යාමේ අපේක්ෂාවෙනි.

ජිප් රථය ඔහු මෙරට දී භාවිතා කර ඇත්තේද එංගලන්තයේ ලියාපදිංචි අංකයෙනි.

මාස 06ක කාලයක් ඔහු මෙරට රැදී සිටීමට අපේක්ෂා කලද මාස 05කින් පමණ නැවත එංගලන්තය බලා ගොස් තිබෙනවා.

ඒ ජිප් රථය සිය මිතුරෙකුට භාරදෙමින්.

මාස 06 ගෙවී යන විට ශ්‍රී ලංකා රේගුවෙන් ඔහුට දැනුම්දීමක් ලැබී ඇත්තේ නියමිත කාලය ඉක්මවා ඇති බැවින් ජිප් රථය මෙරටින් රැගෙන යන ලෙසත් එසේ නොවන්නේ නම් රේගු බදු ගෙවා නිදහස් කර ගන්නා ලෙසයි.

එංගලන්තයට රථය රැගෙන යනවා වෙනුවට රුපියල් ලක්ෂ 21ක රේගු බදු මුදලක් ගෙවා එම රථය තබා ගැනීමට මිතුරා කටයුතු කර තිබෙනවා.

මෙම රථය පසුව එම මුල් ලියාපදිංචි හිමිකරු විසින් විකුණා ඇති අතර, එම රථය රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ බෑණාගේ ගේ නමින් ලියාපදිංචි වී ඇත්තේ 07 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙසින් බව වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරනවා.

අනතුරුව මෙම ජිප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ නමට ලියාපදිංචි වී ඇති අතර, සැමියාගේ නමින් තිබුණු මෙම ජිප් රථය බිරිඳගේ නමට 08 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙස ලියාපදිංචී තිබීම ද සැකයට තුඩුදී තිබෙනවා.

ජගත් විතාන මන්ත්‍රීවරයා විසින් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් වන අතර, ඒ 09 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙසින්.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එංගලන්තයෙන් මෙරටට රැගෙන ආ ජිප් රථය අතුරුදන්ව එම රථයේ චැසි, එංජින් අංක මෙන්ම ලියාපදිංචි අංකයෙන් වෙනස්ම ආකාරයේ ජිප් රථයක් එලියට එන්නේ 07 වෙනි ලියාපදිංචි හිමිකරු අතට රථය පත්වීමෙන් අනතුරුව බවයි.

වලානේ පොලිස් කණ්ඩායම දැන් සොයන්නේ එංගලන්තයෙන් රැගෙන ආ ජිප් රථයට කුමක් සිදුවීදැයි කියාය.

එම රථය කොටස් කර අලෙවිකර තිබේද? නැතිනම් වෙනත් වාහනයක අංකයකින් එය ධාවනය වන්නේද? යන්න ගැන ඇත්තේ තවමත් සැකයන්ය.