නිමල් රාජපක්ෂ-
කොළඹ, 2026 ජූලි 16 – වසර 14ක් පුරා අක්‍රියව පැවති කටුබැද්ද දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය යළි සක්‍රීය කරමින් ආරම්භ කළ දැව තාක්ෂණ (ගෘහ භාණ්ඩ) NVQ Level 4 පාඨමාලාවේ ප්‍රථම කණ්ඩායම සඳහා සහතිකපත් ප්‍රදානය හා රැකියා පත්වීම් ලබාදීමේ උත්සවය පසුගියදා (16) තලවතුගොඩ ජෙට් හෝල්ඩින්ග්ස් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 21 දෙනාට සහතිකපත් සමඟ රැකියා පත්වීම් ද ප්‍රදානය කෙරිණි.
උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කෘතිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණයන් ලෝකය වේගයෙන් වෙනස් කරමින් සිටියද, එයට මිනිස් කුසලතාව සහ නිර්මාණශීලිත්වය (Human skill and creativity) අභිබවා යෑමට අසීරු බවයි. එබැවින් අධ්‍යාපනයට අමතරව කුසලතා මත පදනම් වූ ශ්‍රම බලකායකට දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව ඔහු අවධාරණය කළේය.
“අපි පරාජය කළේ රජය වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු යැයි කියන ආර්ථික මතිමතාන්තරයයි. අද ජාතික ශිල්ප සභාව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ ඒ වෙනසට හොඳම උදාහරණයක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.
වෘත්තීය පුහුණු වැඩසටහන් අතීතයේදී අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව ඒවා වෙළඳපොළේ සැබෑ අවශ්‍යතා සමඟ සම්බන්ධ නොවීම බවත්, වර්තමාන රජය පුහුණුව, කර්මාන්ත සහ රැකියා වෙළඳපොළ අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනැඟීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා 9 වැනි ශ්‍රේණියේ සිටම සිසුන්ට තමන්ගේ දක්ෂතා හා කැමැත්ත අනුව කුසලතාමය වෘත්තීය මාර්ග තෝරාගැනීමට අවස්ථාව සලසා දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
