Spread the love

නිමල් රාජපක්ෂ –

කටුනායක, 2026 ජූලි 18 – ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (Narcotics Control Unit – NCU) නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 90.8ක් පමණ වටිනා කොකේන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු වන 23 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකු, 2026 ජූලි 18 දින ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයේ EK650 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එදින පෙරවරු 9.30ට පමණ සිදු කළ රේගු පරීක්ෂාවේදී ඔහුගේ අත් ගමන් මල්ලේ තිබූ ආහාර බහාලුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කැප්සියුල 92ක් තුළ අසුරා තිබූ කොකේන් ග්‍රෑම් 1,816ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 90.8ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදී ඇත.


මෙම වැටලීම ජාත්‍යන්තර සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පිවිසුම් දොරටු හරහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන දැඩි නිරීක්ෂණ, වෘත්තීයභාවය සහ කැපවීම යළිත් තහවුරු කරයි.