Spread the love

නිමල් රාජපක්ෂ-

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට (2026) සමගාමීව සංවිධානය කෙරුණු ‘කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ’ සමාප්ති උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ බණ්ඩාරගම, සිරි පියරතන මාවතේ පිහිටි කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

නිරෝගී මෙන්ම ක්‍රීඩා කුසලතාවලින් පිරිපුන් තරුණ පරපුරක් රටට දායාද කිරීමේ ජාතික වැදගත්කම මෙහිදී අවධාරණය කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙවැනි ක්‍රීඩා උළෙලවල් හරහා දිස්ත්‍රික් මට්ටමින් මතුවන දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටම කරා ඔසවා තැබීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති නව වැඩපිළිවෙල පිළිබඳව ද පැහැදිලි කළේය.

තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සහතික පත්‍ර, පදක්කම් සහ කුසලාන ප්‍රදානය කිරීම අමාත්‍යවරයා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ අතින් මෙහිදී සිදු කෙරිණි. මෙවර කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනාගැනීමට පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත් වූ අතර, එහි අනුශූරතාවය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් හිමිකර ගන්නා ලදී.

මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සදහා ප්‍රධාන අනුග්‍රාහක භවතුන් ලෙස Wasana Bakers ආයතනය සහ Gihan Digital Printing Lab ආයතනය කටයුතු කර තිබුණි.

මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඔශානි උමංගා, නිලන්ති කොට්ටහච්චී, බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති සමිත් ජයගේ යන මහත්වරුන් මෙන්ම ජාතික තරැණ සේවා සභා බටහිර පළාත් අධ්‍යක්ෂකතුමිය, ජාතික තරුණ සේවා සභා කලුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකතුමා,බන්ඩාරගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය ආයතන නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ ක්‍රීඩාවට ලැදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.