පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහළ යන හෙයින් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා පවසයි
අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා ද්‍රෝණිය සැලකියයුතු ඉහළ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතියි . මේ නිසා මේ ප්‍රදේශවල මහජනතාව දැඩි සැලකිල්ලකින් කටයුකු කළ යුතුවෙයි.
මේ අතර කළු ගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු ගඟේ ජල මට්ටමද සමහර ප්‍රදේශවල ඉහළ යමින් පවතින බව සුගීෂ්වර මහතා සඳහන් කළේය.
එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.
