Spread the love

මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 31) අවසර ලබා දුන්නේය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද දින පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.

පෙත්සම විභාගය 2026 පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තබන ලදී.

අගතියට පත් පාර්ශවය සිය පෙත්සම මගින් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව නීතියට පටහැනි බවයි.

ඒ අනුව, එම තීන්දුව බලරහිත කර, විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය විසින් නිකුත් කරන ලද මරණීය දණ්ඩනය යළි තහවුරු කරන ලෙස මෙම අභියාචනා මගින් ඉල්ලා ඇත.

2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.