නිමල් රාජපක්ෂ-
ජාතික පරිසර පනත (NEA) සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද(24) අවසන් වරට පාර්ලිමේන්තුවේදී කියවීමට, විවාදයට ගැනීමට සහ ඡන්ද විමසීමට නියමිතයි.
මෙය මෙම පනතෙහි සිදු කෙරෙන තෙවන සංශෝධනය වන අතර, එය ඉදිරිපත් වන්නේ පෙර පැවති සංශෝධනයෙන් වසර 26 කට පසුවය. 2000 වසරේදී සිදු කරන ලද දෙවන සංශෝධනය සුළු සංශෝධනයක් පමණක් වූ අතර, 1988 වසරේදී සිදු කරන ලද ප්‍රථම සංශෝධනය රටේ පරිසර සංරක්ෂණය සහ පරිසර කළමනාකරණය සඳහා අවශ්‍ය නෛතික රාමුව සහ මෙවලම් (පරිසර ආරක්ෂණ බලපත්‍ර – EPL, පාරිසරික බලපෑම් ඇගයීම – EIA ආදී) සපයන ලද සංශෝධනයක් විය.
මේ අනුව බලන කල, වසර 38 කට පසුව මෙවැනි විස්තීර්ණ හා පූර්ණ සංශෝධනයක් වර්තමානයේදී පාර්ලිමේන්තුව වෙත යෝජනා කරන අවස්ථාව මෙය වේ. පුරවැසියන් වන ඔබ නියෝජනය කරන සියලු දෙනා, මෙම සංශෝධිත පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කර නීතිගත කරනු දැකීමට බලාපොරොත්තු වන්නේ, රටේ තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙනයෑමට සහ වේගවත් කිරීමට අවශ්‍ය මනා නෛතික රාමුවක් ඒ ඔස්සේ සැලසෙන බැවිනි.
