Spread the love

මේ වන විට ශීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් මෙම 24,25 සහ 26 තෙදින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමේදී ජනතාව දැනුවත් කිරීම සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා  එහිදී මාධ්‍ය ආයතන වෙත පුළුල් කාර්යභාරයක් පැවරී තිබෙන බවද සඳහන් කළේය.

මෙම වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තියේ පසුගිය වසරට වඩා වර්ධනයක් දක්නට ලැබෙන බව මෙහිදි පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමට තිරසර විසදුම් සෙවීම රජයේ අරමුණ බවත්, එහිදී ගතයුතු දිගුකාලීන ක්‍රියාමාර්ගවලට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමේදී ජනතාවට විශාල වගකීමක්  පැවරී තිබෙන බවත්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම වැනි යහ පුරුදු මගින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, රජයේ ආයතන පරිශ්‍ර සහ කර්මාන්තශාලා මෙන්ම වැඩබිම් ආශ්‍රිතවද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

උද්ගතව ඇති මෙම ගැටලුව සඳහා මෙම අවස්ථාවේ ලබා දිය හැකි ඉහළම විසඳුම ජනතාව දැනුවත් කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමට පෙළඹවීම බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවල සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනතාව තවදුරටත් දැනුවත් කරමින්,  අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳ ඔවුන් පෙළඹවීම වෙනුවෙන් දායකත්වය ලබා දෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා සියලු මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.

ඩෙංගු ව්‍යාප්තිය, මතුව ඇති අවදානම් තත්ත්වය සහ මෙම තත්ත්වය පාලනය කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

ජාතික මෙහෙයුමක් සේ සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබා දෙන බව මෙහිදී සඳහන් කළ මාධ්‍ය ආයතන නියෝජිතයන් ඩෙංගු මර්දනයට අදාළ තම යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කළහ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.