Spread the love

නිමල් රාජපක්ෂ

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කිරි සැකසුම් මධ්‍යස්ථානයක් වන වැලිසර කිරි සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ අරමුණ ඇතිව නවීකරණය හා සංවර්ධනය කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ වෙනුවෙන් මධ්‍යස්ථානයේ වත්මන් කටයුතු සොයා බැලීම සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැත්විණි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළක් ලෙස අතීතයේ දී වැලිසර ගොවිපොළ සාර්ථකව ක්‍රියාත්මක වුවද පසුකාලීනව පැවති රජයන් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කර නොමැති බැවින් එම ගොවිපළ ක්‍රමානුකූලව පරිහානියට ගොස් කිරි සැකසුම් මධ්‍යස්ථානය පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙම මධ්‍යස්ථානයට අයත් අති විශාල භූමී ප්‍රමාණයක් පවතින අතර එම ඉඩකඩ් වැඩි ප්‍රමාණයක් මේ වන විට ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබේ. අත්හැර දමා ඇති භූමි ප්‍රමාණයද ප්‍රයෝජනයට ගනිමින් මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් නවීකරණය කොට සංවර්ධනය කිරීමට තීරණය වී තිබේ.

ඒ හරහා වඩාත් ඵලදායී ප්‍රවර්ධනයක් අත්කර ගැනීම සහ ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදන පිළිබඳව ඉහල පාරිභෝගික විශ්වාසයක් ගොඩනැගී තිබේ. මීට ඉහත ලීටර 9000 ක ප්‍රමාණයේ පැවති එම මණ්ඩලයේ සමස්ත දෛනික කිරි නිෂ්පාදන ධාරිතාව මේ වන විට ලීටර 19000 ක් දක්වා ඉහල නැංවී තිබේ. ඒ අනුව පිරිසිදු ගුණාත්මක කිරි හා කිරී අතුරු නිෂ්පාදන වැඩි වශයෙන් පාරිභෝගිකයන්ට සැපයීම අරමුණු කර ගනිමින් මෙම මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර ඒ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේත් වත්තල ප්‍රාදේශීය සභාවේත් සහය ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී. සී. එස්. පෙරේරා මහතා, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති බ්‍රිහාන් ආබ්ඩීන්, උප සභාපති රෝහිත සේරම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.