Spread the love

නිමල් රාජපක්ෂ

දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ රුපියල් බිලියනයක වියදමින් ඉදිකරන ලද නව තෙමහල් කායික රෝග වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.

අප රට පිළිබඳව ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බවත්, බොහෝ රටවල් මෙරට සමඟ සුහඳශීලී ගණුදෙනු සඳහා අවතීරණ වී ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියනයක වියදමින් දර්ගා නගරය ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

මහල් 03 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඇඳන් 04 කින් යුත් හදිසි ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 96 කින් සමන්විත ළමා සහ මාතෘ වාට්ටු ද ඇතුළු වාට්ටු 04 කින් ද බාහිර රෝගී අංශය ඇතුළු අංශ ගණනාවකින් ද සමන්විත වන අතර මෙම කායික රෝග වාට්ටු සංකීර්ණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දීමට ද නියමිතය.

තෙමහල් නව කායික රෝග වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු රෝගියා ලියාපදිංචිය ද සිදු කළ අතර, නව වාට්ටු සංකීර්ණය මෙන්ම මහත් දුෂ්කරතා මධ්‍යයේ රෝගී ප්‍රතිකාර සේවා මෙතෙක් සේවා පවත්වාගෙන ඒමට කටයුතු කළ ස්ථාන සහ අංශයන් ද අමාත්‍යවරයා සිය නිරික්ෂණයට ද ලක් කරන ලදි.

රෝහලට අවශ්‍ය මානව සම්පත ශක්තිමත් කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල ඉදිරියේ දී ක්‍රමාණුකූලව ලබාදීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා වෛද්‍ය සංකීර්ණය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කිරීමට නියමිත බව ද පැවසීය.

චීන රජයේ ආධාර ව්‍යාපෘතිය යටතේ බේරුවල දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණ රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.