..නිමල් රාජපක්ෂ-
දුම්රිය සේවාව කාර්යක්ෂම කර, ගුණාත්මක සේවාවක් මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලට අනුගතව දුම්රිය එන්ජින් රියදුරු සහායක iii ශ්‍රේණියට බඳවා ගනු ලැබූ 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය අද දින (2026.09.14) සිදුකෙරිණ.
නව පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ප්රදානය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා ඇතුළු ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ 10, මරදාන පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුම්රිය ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාවන් විධිමත්ව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත බලගැන්වීම යටතේ මේ වසර තුල පමණක් විවිධ තනතුරු සඳහා 1,500 ක පමණ සේවක පිරිසක් බඳවා ගැණින. 2027 වසර සඳහා ද දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, තාක්ෂණ නිලධාරීන් ඇතුළු පුරප්පාඩු සඳහා අනුමත තරග විභාග මත පදනම්ව බඳවාගැනීම් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව නවක පත්වීම්ලාභීන් ආමන්ත්‍රණය කල එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා,
‘දුම්රිය සේවාව ගොඩනගන්න සාමූහිකව කටයුතු කිරීම අවශ්‍යයි. රජයක් විදියට අපි වෙන් වෙන්ව වැඩ කරන්නේ නෑ. ආණ්ඩුව කටයුතු කරන්නේ ඒකාබද්ධ වැඩපිළිවෙලකයි. මේ ආණ්ඩුව ඔබ පත්කරගෙන අවුරුදු දෙකක් නෙවවා. රට වෙනස් තැනකට, හොඳ තැනකට එන්න පටන් අරගෙන තියෙනවා. මීට අවුරුදු දෙකකට කලින් තිබුණේ පෝලිම් තියෙන රටක්; ගෑස් ටැංකි පුපුරණ රටක්; ඉන්ධන, පොහොර නැති රටක්; ඩොලර් නැති රටක්; බංකොලාත් රටක්; සම්පූර්ණයෙන් නතර වූ රටක්.
අද වනවිට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන සංස්කෘතිය වශයෙන් ද වෙනස් රටක් නිර්මාණය වෙලා තියෙනවා. වංචාව, දූෂණය අවසන් කරලා, ජනාධිපතිතුමාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා වරප්‍රසාද අත්හැරලා තියෙනවා. ඒ කැපකිරීම් තුල රට ගොඩනගන්න හැකිවුණා. අද වනවිට රට මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙලා. දේශපාලන අපරාධකරුවන් මිරිකල තිබුණ රට මේ…
ඔබගේ බදු මුදල් ආරක්ෂා කරමින් රට සංවර්ධනය කරා මෙහෙයවීම ක්‍රමිකව සිදු කරනවා. එමනිසා ඔබ සියලු දෙනාත් රට ගැන සිතා, ජනතාව ගැන සිතා සිය යුතුකම් ඉටු කරන්න. පඩි වැඩිකර ගැනීමෙන් පමණක් තෘප්තිමත් වන මිනිසෙකු නොවී, තමන් රටට, ආයතනයට සිදුකරන සේවාව පිළිබඳ සෑහීමකට පත්ව තෘප්තිමත් වන්න. තමන් සේවයක් කලා යන හැඟීම ඇතිව ආත්ම තෘප්තිය ලබන්න. තමන්ට කැමති දේශපාලන මතවාදයක සිට ඒවා මැතිවරණයකදී බේරාගන්න. රාජ්‍ය සේවයේදීත් ජාතික සංවර්ධන වැඩසටහන තුලත් පටු දේශපාලනය සිදු නොකරන්න.
හොඳ සහ නරක දෙකම කියවෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට, අද පත්වීම් ලබන ඔබ තම සේවාව කැපවීමෙන් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.’
මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය, එහි අතිරේක සාමාන්‍යාධිකාරි (පරිපාලන) එම්.එම්.පී.පී. පෙතන්ගොඩ, අතිරේක සාමාන්‍යාධිකාරි (යාන්ත්‍රික) කේ.කේ. හේවාවිතාන, අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) පී.ඩී.එස්.බී. චන්ද්‍රසේන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහ පත්වීම්ලාභීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
