Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ඊයේ (10) කල්පිටිය ආලංකුඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව, කල්පිටිය අලංකුඩා  මුහුදු  ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම යාත්‍රාව තුල උර විස්සක (20) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ත් සහ 30 ත් වයසේ පසුවන කල්පිටිය අනවාසල  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.