Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, වත්තල පල්ලියවත්ත, මීගමුව පිටිපන කලපුව  සහ සිලාවතුර කායක්කුලි යන වෙරළ හා කලපු ප්‍ර‍දේශ ආශ්‍රිතව ඊයේ සහ අද දින (2026 සැප්තැම්බර් 29 – 30) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් තුන්සිය හැටකට (2360) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් පල්ලියවත්ත මුහුද හා වෙරළ ප්‍රදේශය සහ මීගමුව පිටිපන කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි 2026 සැප්තැම්බර් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම ප්‍රදේශ ආශ්‍රිතව තිබූ සැකකටයුතු උර විසි හතරක් (24) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතලිස් දෙකකට (942) අධික තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

එමෙන්ම, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය විසින් සිලාවතුර කායක්කුලි වෙරළ ප්‍ර‍දේශය ආවරණය වන පරිදි අද දින උදෑසන (2026 සැප්තැම්බර් 30) සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයෙහි තිබූ සැකකටයුතු උර හතලිහක් (40) පරීක්‍ෂාවට ලක්කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද බවට සැක කෙරෙණ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය විසිපහකට (1425) අධික තොගයක්නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ සිදුකල මෙහෙයුම සඳහා වත්තල පොලීසියේද සහය හිමිවූ අතර, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය, කටුනායක රෙගු නිවාරන කාර්යාලය සහ මන්නාරම සුරාබදු දෙපාර්තමෙන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.