“
නිමල් රාජපක්ෂ
රජයේ ප්රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 25,000ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබේ.
ඒ අනුව, දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එම සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
එමෙන්ම, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා එක් විය.
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සවිබලගැන්වීම් නිලධාරීන් සහ ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහභාගිත්වයෙන් එදින පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට රුපියල් මිලියන 1,035ක ප්‍රතිපාදන යටතේ සංවර්ධන ව්‍යාපෘති 797ක් ක්‍රියාත්මක වන බවයි. එම ව්‍යාපෘති මඟින් සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් 70,000කට පමණ ප්රතිලාභ සැලසෙන බව ද මෙහිදී සඳහන් විය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමකින් තොරව රටක් සංවර්ධනය කළ නොහැකි බවයි. හුදෙක් භෞතික සම්පත් හෝ යටිතල පහසුකම් ලබාදීමෙන් ඔබ්බට ගොස්, ප්‍රජාව සැබෑ ලෙසම සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත් කිරීම “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2024 වසරේ ලෝක බැංකු වාර්තාවලට අනුව, මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 24.5ක් තවමත් දිළිඳු මට්ටමේ පසුවන බවත්, නිදහසින් පසු ගත වූ වසර 76ක කාලය තුළ දිළිඳුකම තුරන් කිරීම අරමුණු කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද එම අරමුණ සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින්, දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වූ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වල සාර්ථක අංග එක්කර ගනිමින් සහ අසාර්ථක අංග ප්‍රතික්ෂේප කරමින් “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
