නිමල් රාජපක්ෂ–
රඹුක්කන සිට පානදුර බලා ධාවනය වු අංක 531 කාර්යාල සිඝ්‍රගාමී දුම්රියේ බටුවත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා සිදුකල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන 2 පංතියේ ගමන්කල මගීන් 35 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් පෙරේදා (03) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් මගීන්ගෙන් 17 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් පනස් පන්දාහක දඩ ආදායමක් ලබා ගත් අතර ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට නොහැකි වීමෙන් ඇපකර තබා ගොස් ඇතැයිද කොටුව මෙහෙයුම් ඒකකයේ දුම්රිය ආරක්ෂක නිලධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් මගීන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර ඹවුන් තුන්වන පංතියේ වාර ප්‍රවේශපත්‍ර (සීසන්)ලබා ගෙන දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන්හට එම මැදිරිවලට ගොඩවීමට නොහැකිවන අයුරින් දොරටු හරස් කරමින් කණ්ඩායම් වශයෙන් කාලයක් තිස්සේ ගමන් කර ඇතැයිද ප්‍රශ්න කිරීම් වලදි තොරතුරු අනාවරණය වී ඇත.
දුම්රිිය ආරක්ෂක හමුදාවේ 1971 දුරකථන අංකයට දින කිහිපයක් තිස්සේ දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන්ගෙන් ලද දුරකථන ඇමතුම් වලට( පැමිණිලි වලට) අනුව මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කොට ඇත.
මින් ඉදිරියට දුම්රිය සාමාන්‍යාධිකාරී තුමාගේ උපදෙස් මත දිගින් දිගටම කාර්යාල හා දුරගමන් සේවා දුම්රිය වල ප්‍රවේශපත්‍ර පරික්ෂාව සිදු කරන බවත්, තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන ඉහළ පංතිවල ගමන් කර අසුවුවහොත් කිසිදු සමාවක් නොදෙන බවත්, තරාතිරම නොබලා දඩ නියම කරන බවත් දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, රාජකාරි අංශයේ කාර්යභාර නිලධාරීගේ අධීක්ෂණයෙන් කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී , නිලධාරීන් හා නිලධාරිණියන් 23 දෙනෙකුගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.
