Spread the love

මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” Primary Healthcare System Enhancing Project (PHSEP) මගින් පළාත් සභා නවයට රුපියල් මිලියන 3600 ක මුදලක් ලබා දීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා අතර අවබෝධතා ගිවිසුම් ගත වීම පසුගිය දා කොළඹ දී සිදුවිය.

මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද, වයඹ, උතුරු, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්සභාවලට එක් පළාත් සභාවකට වර්ෂයකට රුපියල් මිලියන 400 බැගින් ලබා දීම සදහා මෙලෙස ගිවිසුම් ගත වූ අතර මෙම ව්‍යාපෘතියෙන් මෙරට ස්ථාපිත ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 1700 ආසන්න ප්‍රමාණයේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීමට නියමිතය. මේ සදහා “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” මගින් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 3600කි. ඉදිරි වර්ෂයේ දී පළාත් සභාවේ අවශ්‍යතාවය පරිදි මුදල් වෙන්කර ලබා දීමට සැලසුම් සකස් කර ඇති බව ද මෙහි දී අණාවරණය විය.

මෙම අවබෝධතා ගිවිසුම් ගතවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (ඉංජිනේරු) සාලින්ද බණ්ඩාර, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර) විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් අත්සන්තබන ලද අතර පළාත් සභා වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු), සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අත්සන් තබන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පළාත් සභා අතර අන්යෝන්‍ය අවබෝධය ඇතිකර ගනිමින් වඩාත් විධිමත්, කාර්යක්ෂම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. පළාත් සභාවල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) මෙම ව්‍යාපෘතිය සදහා තාක්ෂණික සහාය ලබා දෙන අතර මූල්‍යමය සහාය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙයි.