.
අපි එකක් සිහිපත් කළ යුතුයි, පාතාලයට කවුරුන් අනුග්‍රහදැක්වුවත්, පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ මේ රජයයි. බන්ධනාගාර නිලධාරීන්ට පාතාලයෙන් විවිධ තර්ජන එන බව අපි දන්නවා. වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාතාලය නමැති පිළිකාව සීයයට සීයක්ම අපි අවසන් කරනවා. බන්ධනාගාර නිලධාරීන් වන ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සෑමවිටම පෙනී සිටිනවා. එබැවින් කැපවී කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේය.
ඇමතිවරයා මෙම අදහස් පළ කළේ 2026 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීමට සහ රජය මඟින් බන්ධනාගාර ආයතන සඳහා රුපියල් මිලියන 913.60 ක් වටිනා වෑන් රථ 10 ක් , ට්‍රැක්ටර් 03 ක් සහ රුපියල් මිලියන 104.30 ක් වටිනා ලැප්ටොප් හා පරිගණක සංකේතාත්මකව භාරදීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එක්වෙමිනි.
බස් රථ 40 ක්, ගලි බවුසර් 5 ක් ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබේ.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබ රාජ්‍ය සේවයේ වඩාත්ම සංකීර්ණ සහ වගකීම් සහගත රැකියාවක නිරතව සිටින බව අපි දන්නවා . ඔබට වැඩකිරීමට සිදුව ඇත්තේ අධික පීඩනයක් සහිතව වන අතරම, ඔබ අතින් වැරද්දක් වීමට සීමිත අවස්ථාවක්වත් නැහැ. ඔබට පැවරී ඇත්තේ මානව ගරුත්වයට ගරු කරමින් ආරක්ෂාව පවත්වා ගැනීම, නීතිය ආරක්ෂා කරමින් විනය ක්‍රියාත්මක කිරීම සහ වැරදිකරුවන් එයින් මුදවා නැවත සමාජයට පැමිණීමට සුදානම් කරමින් සමාජය ආරක්ෂා කිරීමයි. මෙය පහසු කාර්යයක් නොවේ. එය බොහෝ විට සමාජයට අදෘශ්‍යමානයි. මෙලෙස ඔබ ලබාදෙන සේවය පිළිබඳව මම ඔබට අවංකවම ස්තූතිවන්ත වෙනවා. 2025 වසර අවසන් නමුත් ඒ වසරේ අප මුහුණ දුන් දිට්වා සුළි කුණාටුව මගින් අප ඉගෙනගත් පාඩම් කිසිදිනක අමතක කරන්න බැහැ. ඒ අතරින් පීඩනය යටතේ පද්ධති ඉරිතලා යන තැන් පිළිබදව, අවංකවම කැපවූ බොහෝ රාජ්‍ය සේවකයින්ගේ බලය ගැන, අර්බුදයකදී සියලු බේද පසෙකලා මනුෂ්‍යත්වය ඉහලට එසවෙන බව නැවත නැගී සිටිමේ හැකියාව අපට ඇති බව ඉගෙන ගත්තා.
මේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටළු වසර තිහ හතලිහක සිට පැවත එන මිස වසර හතරක පහක කාලයක ඇති වු ඒවාවත් ඔබගේ වරදින් වු ඒවාවත් නොවන බව අපි දන්නවා. කාගේ වරදින් වුවත් ඒත් අපි ඒවා විසදීමේ වගකීම අපට තිබෙනවා. බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස රස පරීක්ෂක වාර්තා මාස තුනක් තුළ ලබාදීමට හැකි වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා .එමෙන්ම ප්‍රජා විශෝධනයට යොමු කිරීම වැඩි කිරීම සදහා ප්‍රජා විශෝදන නව පනතක් ඉදිරියේදී ගෙන එනවා. දීර්ඝ කාලීන සිරකරුවන් සමාලෝචන ක්‍රියාවලිය යටතේ නිදහස් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. බන්ධනාගාර නිලධාරීන් වන ඔබට පවතින ගැටළු වත්මන් රජය අවබෝධ කර ගෙන තිබෙනවා.
