තම දිවියම පාපැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි සූරයෙකු වූ ඒ. එම්. සුමනවීර අභාවප්‍රාප්ත වී ඇත.
සිව්වරක් ලංකා සවාරිය ජයග්‍රහණය කරමින් එම වාර්තාවට සම හිමිකම් කී ඔහු, විශේෂයෙන්ම කඳු නැඟීමේ සූරයා ලෙසින් මෙරට අතිශය ප්‍රකට වීය.
ඔහු ජීවත්ව සිටින තුරාම එම කීර්තිනාමය කිසිවෙකුට ඉක්මවා යාමට නොහැකි වීමද විශේෂත්වයක්.
සුමනවීරගේ ජීවිතය පාපැදිය සමඟ බැඳී පැවති අතර රත්නපුර, නිවිතිගල පාරේ දෑල පිහිටි සිය නිවසේ සිට කොළඹ තෙල් සංස්ථාවේ සේවයට පවා ඔහු පැමිණියේ පාපැදියෙනි.
සුමනවීරගේ ආභාෂය ලබමින් ඔහුගේ දරුවන් ද පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ අතර, දියණියන් දෙදෙනෙකු වන ඩිලුක්ෂි සහ අයේෂා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පවා ශ්‍රී ලංකාවට රැගෙන ආ දෙපලක්.
අභාවප්‍රාප්ත පාපැදි සූර ඒ. එම්. සුමනවීරගේ අවසන් කටයුතු අද දින මල්වල ආදාහනාගාරයේදී සිදුකෙරුණා.
