Spread the love

රැප් ගායකයෙකු වන මාධව ප්‍රසාද්, නොහොත් ‘මදුවා’, නැවත වරක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු, ඔහුට එල්ල වූ දෙවන චෝදනාව මෙයයි.

පොලිසියට ලැබුණු රහස් තොරතුරක් මත, පිටිපන ගල්හේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබූ ජෙලට් නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන්නේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු බවට 26 හැවිරිදි මෙම රැප් ගායකයා හෙළි කර තිබේ.

මෙම කොස්තාපල්වරයා මීට මාස කිහිපයකට පෙර කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

තවද, හිටපු පොලිස් කොස්තාපල්වරයා මෙම පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් තවත් රැප් ගායකයෙකුට ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරු පුපුරණ ද්‍රව්‍ය සමඟ කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.