මාතර -නුවන්
බිමි මට්ටමින් බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහය ලබාදීමට විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවසීයත
.නීතිඥ මනෝජ් නානායක්කාර මහතා එසේ පැවසුවේ , ආචාර්ය හරිනි අමරසුරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ කොනිමසාරිස්වරුන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති සාකච්ඡාක ප්‍රථිපලයක් ලෙසයි.
මෙරට සියලු පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටත්, දැනට පවතින බාලදක්ෂ දිස්ත්‍රික් 37, බාලදක්ෂ දිස්ත්‍රික් 60ක් දක්වා වැඩි කිරීමටත් ගෙන ඇති සැලසුම් පිළිබඳව මෙහිදී ප්‍රධාන කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා කරුණු පැහැදිළි කළේය.
එහිදී බාලදක්ෂ ව්‍යාපාරය කෙටි කාලයකදී ලබා ඇති දියුණුව පිළිබඳ අගමැතිවරිය සිය සතුට ප්‍රකාශ කරමින් ඉදිරි කටයුතු සඳහාද පූර්ණ සහය ලබාදෙන ප්‍රකාශ කළාය.
බාලදක්ෂ නායක නායිකාවන් ලෙස පාසල්වල කටයුතු කරන ගුරුවරු ගුරුවරියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අගමැතිවරියගේ අවධානයට මෙහිදී යොමු කළ අතර ඊට අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස අගමැතිවරිය එම මොහොතේදීම නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
බාලදක්ෂ ව්‍යාපාරය තුළ නව අංශයක් ලෙස ආරම්භ කළ සුපිපි බාලදක්ෂ අංශයත්, විද්යාපීඨිවල බාලදක්ෂ ව්‍යාපාරය විධිමත්ව ක්‍රියාත්මක කිරීමටත්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිරතව සිටින අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්හට බාලදක්ෂ නිල ඇඳුම් සඳහා රෙදි ලබාදීමටත් ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කොමසාරිස්වරුන් අගමැතිවරියගේ අවධානය යොමුකළ අතර ඊට අවශ්‍ය විසඳුම් ලබාදීමට අගමැතිවරිය එකඟතාවය පළකර තිබිණි.
වත්මන් බාලදක්ෂ කළමනාකාරිත්වය ඉතා සුහඳව හා සහයෝගිතාවයෙන් අධ්‍යපාන අමාත්‍යාංශය හා කටයුතු කරන බව මෙහිදී පෙන්වාදුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් බාලදක්ෂ ව්‍යාපාරය තව තවත් බිම් මට්ටමින් ප්‍රචලිත කිරීමට සහය දෙන බව කියා සිටියහ.
මේ අවස්ථාව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය මධුර සෙනෙවිරත්න,නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් පිරිසක් එක්ව සිටියහ.
