නිමල් රාජපක්ෂ-
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 550 ක මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු සත් මහල් වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය (Nephrology and Dialysis Unit) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.
එමෙන්ම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකයේ රුධිර කාන්දුකරණ අංශය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලද අතර, සායන, දැඩිසත්කාර ඒකක සහ ශල්‍යාගාර ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙම වකුගඩු හා රුධිර කාන්දුකරණ ඒකකය යුක්ත වේ.
නැඟෙනහිර පළාතේ විශේෂයෙන් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන බැවින්, එම වකුගඩු රෝගීන්ගේ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, අයවැය මඟින් වෙන් කරන ලද මුදල් යොදවා මෙම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ අඩාල වී තිබූ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 589,172 ක ජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්කවල ජනතාවට ද ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මඩකලපුුව දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ පසුගිය ජූලි මස විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද පියවර ගන්නා ලද අතර, රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කරන ලදි.
