ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ හි විශේෂ නිරීක්ෂණයකට සහභාගි විය.
නිසි ව්‍යාපාරික සැළැස්මකින් තොරව ඉදි කර ඇති මෙම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හේතුවෙන් ඩොලර් මිලයන 260 ක පමණ ණය මුදලක් ගෙවීමට ඉතිරිව ඇති නමුත් මෙහෙයුම් කටයුතු නිසි ලෙස සිදු නොවීම හේතුවෙන් දැඩි ආර්ථික පරිහානියකට ලක්ව තිබේ.
නමුත් අමතර ගුවන්තොටුපොළක් තිබීම වටිනා බව ද කෙටි කාලීනව නොහැකි වුව ද පියවරෙන් පියවර මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසූ අමාත්‍යවරයා මගී ප්‍රවාහනය යථා තත්වයට පත්කිරීමට කාලයක් ගත වුව ද වෙනත් ව්‍යාපාරික අවස්ථා සහ උපක්‍රම උපයෝගී කර ගනිමින් ගුවන්තොටුපොළ ක්‍රමයෙන් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
මත්තල ගුවන් තොටුපළ බඳගිරිය වැව ඇතුළු බොහෝ සංචාරක ආකර්ශනීය ස්ථාන වට කොට සුන්දර පරිසරයක පිහිටා ඇති බව ද බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන සතුන් බහුල ප්‍රදේශයක ඉදිකර ඇති අතර ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාපයේ වන සතුන් බහුල වීමෙන් මෙහෙයුම් කටයුතු වලට බධාවක් ඇති විය හැකි බැවින් ත්‍රිවිධ හමුදාවේ උදව් ඇති ව මේ වන විට ගුවන්තොටුපොළ ආශ්‍රිත පරිසරය 70% ක් පමණ එළිපෙහෙලි කර ඇති අතර ඉතිරි ප්‍රදේශය ද ඉක්මණින් එළිපෙහෙලි කර අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
ඉදිරියේ දී පැමිණිය හැකි වන සතුන්ගේ බලපෑම් අවම කර ගැනිම සඳහා වනජීවී නිලධාරීන් කිහිපදෙනෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු යෙදවීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසී ය.
මත්තල ගුවන්තොටුපොළ තුළ ගුවන්ගමන් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම හදිසි ගොඩ බැස්සවිම් සඳහා භාවිතා කරන අමතර ගුවන්තොටුපොලක් ලෙස මත්තල ගුවන්තොටුපොල භාවිතා කිරීමට කැමැත්ත පල කර ඇති බව ද අමාත්‍යවරයාපැවසීය.
තවදුරටත් අදහස් දැක් වු බිමල් රත්නායක මහතා පවසා සිටියේ එමඟින් අනෙකුත් ගුවන් සමාගම් වලට ද සුභවාදී පණිවිඩයක් යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
