Spread the love

රාජ්‍ය නායකයන්ට හෝ මැති ඇමැතිවරුන්ට පොලිස් හෝ වෙනත් කිසියම් ආරකෂාවක් ලබාදිය යුතු නැතැයි කියලා ජනතා සිත්තුළ වෛරය ඇති කර ඒ තුළින් බලය ලබාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් භාවිත කරන බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

ඒ මහතා මෙසේද කීය.

අනුර කුමාර ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වී තිබුණා. ඒ කැබිනට් පත්‍රය අනුව මින් ඉදිරියට දේශීය ආයෝජකයන්ට දේශීය බැංකුවලින් විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති සඳහා ණය ලබානොදීමට තීන්දු කර තිබෙනවා කියලා. මෙය ඉතාම නරක තත්ත්වයක්.

අපේ රටේ ගුරු වෘත්තිය ලෙස සඳහන් කළත් ඉස්සර ප්‍රකාශ කළේ ගුරු සේවය කියලා. එය ගෞරවනීය සේවයක් හැටියටයි සැලැකුවේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පිහිටුවන්න වැඩියම කැපවූ පිරිසක් අතරින් සිටින්නේ මේ රටේ ගුරුවරු. ඒ ගුරුවරුන්ට කරන්න පුළුවන් විශාලම අපහාසය ජනාධිපතිවරයා පසුගිය සතියේ කරනු ලැබුවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා අද ගුරු සේවයේ SMS එකක් යවා ගන්න, වට්ස්ඇප් පණිවුඩයක් යවා ගන්න බැරි අය සිටිනවා කියලා ගුරු සේවය සැහැල්ලුකර පහතට දැමීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒත් සමඟම ගුරුවරයෙක් ලෙස කටයුතු කළ මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර සිටිනවා ගුරු සේවයට ඒමට පෙලැඹෙන්නේ තමන්ට වෙන දෙයක් නැති වුණාම කියලා.

ජනාධිපතිවරයා බලයට ගේන්න කැපවුණු ගුරුවරුන්ට කළ මේ අපහාසය ගුරුවරු වෙනුවෙන් අපි දැඩිව හෙළා දකිනවා. රට එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මුදාගත්ත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අදටත් වැඩිම ජීවිත තර්ජනයක් තිබෙන පුද්ගලයා ලෙසට පත්වෙලා තිබෙනවා. එතුමාට ඉතා දැඩි ආරක්ෂාවක් ලබාදෙන්න කටයුතු කළා. නමුත් එම ආරක්ෂාව ලබාදීම ජනතාවගේ වෛරයට භාජන කළේ ජනතා විමුක්ති පෙරමුණ.

මේ වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් භාවිත කරන බව පේන්න තිබෙනවා. ඒ විතරක් නොව ලාල්කාන්ත ඇමැතිවරයා කිසිදු ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කර සිටිනවා ඒ ආරක්ෂාව මදි මීට වැඩි ආරක්ෂාවක් ලබාදෙන්න අවශ්‍යයි කියලා. අපි දැක්කා අධිවේගී මාර්ග ගොඩනැඟීම නැවත වතාවක් චීනයට ලබාදෙන්න රජය තීන්දුවක් අරගෙන තිබෙනවා කියලා. එදා විපක්ෂයේ මන්ත්‍රිවරයකුව සිටියදී ඒ දූෂිත වූ ගනුදෙනු කරන චීනය සමඟ නැවත ගනුදෙනු කරන්න තීන්දු කිරීම එතුමාට සිදු වූ දෛවයේ සරදමක් මහින්ද රාජපක්ෂ මහතා චීනය සමඟ එකතු වෙලා මේ රට සංවර්ධනය කරන විට චීනය සමඟ එකතු වෙලා හොරකම් කරනවා කියලා. ඒ ප්‍රකාශ කළේ බොරුවට ඡන්දදායකයන් පිනවලා තමන්ට ඡන්දය ලබාගන්න මිසක් ඒ පිටුපස කිසිදු සත්‍යයක් තිබුණේ නැහැ.