Spread the love

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා වෙත දැනුම් දී ඇත්තේ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පැවති සමයේ උතුරුකරයේ වළදමා තිබූ අවි ආයුධ දකුණේ සිදුවන අපරාධ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

වව්නියාව, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු ජීව අත්බෝම්බ 86ක්, ටී 56 වර්ගයේ පතරොම් 321ක්, පැති අවි පතරොම් 3ක් සහ මත්කරල් 5,600ක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා TID අධිකරණයට මෙම කරුණු වාර්තා කළේය.

පසුගිය 21 වන දා දකුණේ අපරාධයක් සිදුකිරීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන වව්නියාව ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පැවති සමයේ උතුරුකරයේ සඟවා තිබූ ගිනි අවි දකුණේ සිදුවන අපරාධ සඳහා මොවුන් විසින් යොදාගෙන තිබේද, එසේත් නැතිනම් එම අවි ආයුධ දකුණේ පාතාල ක්‍රියාකරුවන්ට විකුණා මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ යුතු බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

එවැනි අවි දකුණේ පාතාල ක්‍රියාකරුවන් වෙත විකුණා මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සඳහා සැකකරුවන් තිදෙනාගේ බැංකු වාර්තා ලබා ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සහ ඔවුන්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට TID වෙත අවසර ලබා දුන්නේය.