Spread the love

තිසර සමල්

මින් ඉදිරියට බස් රථ ලෝඩ් කරන්න පුළුවන් කොන්දොස්තරට විතරයි…වෙනත් බාහිර පාර්ශ්ව සම්බන්ධ කරගන්න එපා.කවුරු හරි සල්ලි ඉල්ලුවොත් අපිට කියන්න උතුරු මැද ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා කියයි.

ඊයේ දිනයේ ලද පැමිණිලි රැසක් හේතුවෙන් සන්ධ්‍යාවේ උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සහාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න මහතා සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහ අනුරාධපුර පොලීසියේ නිළධාරීන් පිරිසක් ද සමඟ අනුරාධපුර දුර සේවා බස් නැවතුම්පළ පරීක්ෂාවට ගිය අවස්ථාවේ දී කප්පම් ගන්නා මැර පිරිසේ දෙදෙනෙකු වන පියා සහ පුත්‍රයා විසින් තර්ජනය කර පහර දීමට උත්සාහ කිරීමත් සමඟ එම මැර තර්ජනය කළ දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අතඩංගුවට ගෙන ඇත.
එම තර්ජනය කිරීම් හා පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා අනුරාධපුර පොලිස් ස්ථානයේ පැමිණිළි කර ඇත.
බස් නැවතුම්පළ පර්යන්තයේ බස් රථ හැසිරවීම සම්බන්ධව සොයා බැලීමට හා ආරක්ෂාවට මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ ජංගම පරීක්ෂක කණ්ඩායමේ නිලධාරීන් යෙදවීමට සහාපතිවරයා විසින් කටයුතු කරන ලදී.
ඒ අනුව එම කටයුතු නිරීක්ෂණය කිරීමට හා බස් රථ කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට උතුරු මැද මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතා පැමිණියේය.

මෙහිදී සාමාන්‍යාධිකාරීවරයා විසින් බස් රථ කොන්දොස්තර හා රියදුරු මහතුන් අමතමින් ප්‍රකාශ කළේ,
මින් ඉදිරියට කොන්දොස්තර හැර බස් රථය ලෝඩ් කිරීම වෙනත් අයට සිදු කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසයි.

එසේම බස් රථ කොන්දොස්තර මහතුන් ප්‍රකාශ කළේ දෛනිකව බස් රථ ධාවනයේ දී ගමනාරම්භයේ සිට අවසානය දක්වා දිනකට රුපියල් හයදහසක් අටදහසක් පමණ කප්පම් වශයෙන් කප්පම් ගනු ලබන බාහිර පාර්ශ්ව වෙත ලබා දෙන බව ද මෙහිදී අනාවරණය විය.
සාමාන්‍යාධිකාරීවරයා මෙයට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ මින් ඉදිරියට කිසිඳු බාහිර අයෙකුට මුදල් ලබා දීමක් අවශ්‍ය නොවන බවත් එසේ යම් අයෙකු මුදල් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහොත් හෝ බලපෑමක් කළහොත් වහාම දැනුම් දෙන ලෙසත් අවධාරණය කරන ලදී.
දුරසේවා බස්නැවතුම්පළට ලබන සතියේ සිට පොලිස් මුරපොළක් ලබා දී බස් රථ කාර්ය මණ්ඩල වල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවද සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව සඳහ මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ ධාවන කළමණාකරු රංජිත් රත්නායක ඇතුලු පිරිසක් එක්විය.