Spread the love

දේවින්ද පිණිදිය

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි. – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඔක්තෝම්බර් මාසයට යෙදෙන ​පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී ඊයේ (18) පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්‍රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කළේය.

​කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පිළිකා රෝග මර්දන ඒකකයේ “ප්‍රාර්ථනා සහන සංගමය” සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (SLCO) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

“පරමාර්ථයක් උදෙසා පා ගමනක්. ජීවිත බේරා ගැනීමට පා ගමනක්! – Walk for a Cause. Walk to Save Lives!” යන්න තේමා පාඨය කරගනිමින් කළුතර බෝධිය රථගාල අසලින් ආරම්භ වූ මෙම පා ගමන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගමන් කළ අතර, අනතුරුව එහි ශ්‍රවණාගාරයේදී නාට්‍යානුසාරයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.

​මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අභියෝගය වී ඇත්තේ බෝනොවන රෝග බවයි. බෝනොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම, කලින් හඳුනා ගැනීම සහ කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කිරීම ප්‍රමුඛ වන බව ද පැවසීය.

කාන්තාවන් අතර මරණයට හේතුවන ප්‍රධාන හේතුවක් ලෙස පිළිකාව පෙන්වා දිය හැකි බවත් එම මරණයට හේතු වන පිළිකා අතර 27%ක්ම පියයුරු පිළිකා වන බවත්, දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ත් 18ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඖෂධ, මුල්‍ය ප්‍රතිපාදන හා යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා පුද්ගලයා සහ කුඩා කණ්ඩායම් කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවා ප්‍රවේශයකට යොමු විය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

​සැවොම එක්ව පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින්, බියකින් හෝ ප්‍රමාදයකින් තොරව වෛද්‍ය සහය ලබා ගැනීමට අපේ කාන්තාවන් දිරිමත් කළ යුතු බවත්, බෝනොවන රෝගවලින් අපේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන, උපකරණ සහ ඖෂධ ආදී සියල්ල ලබා දීමට රජය සූදානම් බව ද පැවසීය.

තවද, කළුතර ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය රෝගීන්ට මානසික සුවපහසුව සහ මනුෂ්‍යත්වය පිරුණු වටපිටාවක් සකස් කරමින් අනෙකුත් රෝහල්වලටද කදිම ආදර්ශයක් සපයා ඇති බව අමාත්‍යවරයා එහිදී පැසසුමට ලක් කළේය.

​කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බෝධි භාරකාර මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක් මෙම වැඩසටහනට දායකත්වය ලබා දී තිබිණි.

​මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ හා නන්දන පද්මකුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා, කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දන මුරගේ, කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා මධුභාෂිනී කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ප්‍රජා නායකයන්, පාසල් දරුවන් සහ සෙසු පුරවැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ.