Spread the love

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධාන ගතවීමක් හෝ එවැනි සහයක් හෝ ලබා ගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නැති බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.

සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

අදාළ නිවේදනය මෙසේය.

එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය, හරහා පතුරුවාලීමේ වැඩ පිලිවෙලක නිරත වන බව අප වෙත දැනගන්නට ලැබී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එකතු වී ඇතැයි පතුරවනු ලබන ප්‍රවෘත්තිය ද එවැන්නකි.

හිටපු ජනාධිපතිවරයා සමඟ සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබා ගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරමු.

මෙම මැතිවරණ කාල සීමාව තුළ සියලු පක්ෂයන්ට අභියෝගයක් වී ඇති සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් දේශපාලනයේ නිරත සියලු අපේක්ෂකයන්ගෙන් මාධ්‍ය මෙහෙයුම් පිළිබඳව විමසිලිමත්ව බුද්ධියෙන් ග්‍රහණය කර ගන්නා මෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු