Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම පිළිබඳ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පසුගියදා (09) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික රැස්වීම් ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

මොන්ටානා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ට් (Greg Gianforte) මහතා සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අතර පැවති මෙම හමුවේදී, දෙපාර්ශ්වය අතර ආර්ථික සබඳතා වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා හිතකර හා ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති පවත්වාගෙන යාමේ වැදගත්කම මෙන්ම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ දෙපාර්ශ්වයේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර සෘජු සබඳතා වර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම, නිෂ්පාදන එක්රැස් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සංවර්ධනය කිරීම සහ නව තාක්ෂණය හුවමාරු කරගැනීම ද සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන කරුණු අතර විය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ හා මොන්ටානා ප්‍රාන්තයේ නිෂ්පාදන කර්මාන්ත සහ කර්මාන්ත ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්හි පවතින විභවයන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

තවද, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට මොන්ටානා ප්‍රාන්තයේ ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසීම සඳහා ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ සංචාරයක් සංවිධානය කිරීමේ හැකියාව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති අතිගරු එරික් එස්. මේයර් (Eric S. Meyer) මහතා ඇතුළු ඇමරිකානු නියෝජිත පිරිසක් ද සහභාගී වූහ. ඒ අතර මොන්ටානා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මාර්ටා බර්ටොග්ලියෝ මහත්මිය, මොන්ටානා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජිලියන් ස්ට්‍රයිට් මහත්මිය සහ මොන්ටානා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඩීනා මන්සූර් මහත්මිය ද වූහ.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාව සහ මොන්ටානා ප්‍රාන්තය අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා හඳුනාගැනීමටත්, අනාගතයේදී වෙළෙඳ, ආයෝජන සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් වැදගත් අවස්ථාවක් විය.