Spread the love

නිමල් රාජපක්ෂ

Clean Sri Lanka ජාතික වැඩසටහන හා සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක ‘දැය නංවන සපිරි ගමක්’ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති සමාරම්භය හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය ඇල්වල බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින 16) හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණ.

Clean Sri Lanka ජාතික වැඩසටහන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව ජාතික ව්‍යාපෘතියක් වශයෙන් දිවයින පුරා ආරම්භ කරන ලද මෙම ‘දැය නංවන සපිරි ගමක්’ ව්‍යාපෘතියේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආදර්ශ ගම්මානය වශයෙන් 503/සී මල්ගම ග්‍රාම නිලධාරි වසම තෝරාගෙන ඇත.

ඵලදායිතා සංකල්පය ගමට, නිවසටම ගෙන ඒම ‘දැය නංවන සපිරි ගමක්’ ජාතික වැඩසටහනේ මූලික අරමුණයි. ප්‍රජාවගේ අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය හා සනීපාරක්ෂාව ඉහළ නැංවීම, ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම , සංස්කෘතික සහ අධ්‍යාත්මික සංවර්ධනය හා පරිසර සංරක්ෂණය මෙම වැඩසටහන තුලින් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර, ගැටලු අවබෝධ කරගනිමින් සමාජය තුල වෙනසක් ඇති කිරීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් වශයෙන් මෙය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව හා එක්වූ පිරිස ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ,

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට වැඩ කරන්නේ රට ගැන හිතලා. මේක මගේ ගම, මගේ දිස්ත්‍රික්කය, මගේ පළාත කියන පෞද්ගලික හැඟීම නැතුව ‘අපේ රට’ කියන පොදු හැඟීමෙන් කටයුතු කරන්නේ. ප්‍රමුඛතාවය මොකක්ද කියන දේ හඳුනාගෙන ඒකට වැඩ කරන්න ඕනි. තමන්ගෙ දේ විතරක් රැකගන්න ඕනි කියන මතයෙන් අපි අයින් වෙන්න අවශ්‍යයි. රටක් වශයෙන් නැගිටින්න නම් සාමූහිකව ගොඩනැගෙන්න කටයුතු කරන්න.

අපි දූෂණය, වංචාව, නාස්තිය නැති කලා. ඒ එකතු කරපු මුදල් වලින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඒවායේ ප්‍රතිලාභ නැවත ජනතාවටම ලබාදෙමින් සිටිනවා.

‘දැය නංවන සපිරි ගමක්’ ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය හරහා ඔබට ලොකු වගකීමක් පැවරෙනවා. මේ ව්‍යාපෘතිය ආගමික නායකයින්, තරුණයින්, කාන්තාවන් මූලික කර ගනිමින් අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍යය, සංස්කෘතිකය, අධ්‍යාත්මික සහ පරිසර ක්ෂ‍ේත්‍ර සියල්ලම ආවරණය වන වැඩ පිළිවෙලක්. ඔබ ලබාදෙන ආදර්ශය තුලින් සමාජය යහපත් ලෙස වෙනස් කරන්න දායක වන මෙන් ඉල්ලා සිටිනවා.’

මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා ඇතුළු ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් ද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි වූහ.