Spread the love

නිමල් රාජපක්ෂ

.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

එහිදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු අංශය මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ද එම නියෝජිත පිරිස නිරීක්ෂණයට ලක් කෙරුණ අතර මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ ඉහත ආයතන නවීන තාක්ෂණයෙන් සවි බලගැන්වීම පිළිබඳව කරණු සොයා බැලීමයි.

එහි දී ඉහත අංශ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් සඳහා මේ වන විට භාවිතා කරනු ලබන වෛද්‍ය උපකරණ සහ රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කෙරෙන ආකාරය සිය නිරික්ෂණයට ලක් කරන ලදි.

නිරීක්ෂණයෙන් අනතුරුව රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම කොළඹ ජාතික රෝහලේ මෙන්ම වෛද්‍ය පීඨයේ පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග තාක්ෂණික කරුණු සම්බන්ධව දීර්ඝ කතාබහක ද නිරත විය.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් බවත්, එම සේවාවේ නිරත සෞඛ්‍ය වෘත්තිකයන් ද දැඩි කැපවීමෙන් එම කාර්ය සිදුකරන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය. එමෙන්ම දෙරට අතර පවතින අන්‍යෙනෝන්‍ය අවබෝධය ශක්තිමත් කරගැනීමටත්, දැනුම හුවමාරු කර ගැනීමටත් මෙවැනි සංචාරයන් බෙහෙවින් ඉවහල්වන බව ද අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා මෙහි දී පැවැසිය.

මිත්‍රත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් මෙහි දී දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර ගන්නා ලදී.

මෙම අවස්ථාවන් සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, නියෝජ්‍ය ලේඛකාධිකාරී ආර්. ලෝගේන්ද්‍ර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් ලේකම්වරුන්වන සුරේෂ් අබේකොන්, නිලංග රුද්‍රිගෝ, සකුන්තලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක්ද එක්ව සිටියහ.