Spread the love

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තව දින පහක කාලයක්පමණක් බවත් එනම් ලබන සදුසා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත බවයි මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ

මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමා රාජකාරී සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදුකළ හැකි බව ද එම කොමිෂන් සභාව පැවසීය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

නිහඬ කාලය ඇරඹෙනවා 11 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතුයි. ඒ වගේම සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේක්ෂකයින්ගේ පවුලේ අයට ඡන්ද ආයාචනා කිරීමේ හැකියාවක් නෑ. ගෙයින් ගෙට යන්න බෑ. මෙය නීතිවිරෝධී ක්‍රියාවක්. 

ප්‍රචාරණය සඳහා ආගමික ස්ථාන සහ ආගමික පුජකවරුන් හා ඔවුන්ගේ ආගමික කටයුතු භාවිත කළ නොහැකියි. පිරිත් නූල් ගැටගසන ආකාරයේ ඡායාරූප අරගෙන ප්‍රචාරක කටයුතු කරන්න එපා. එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා. යැයිද පැවසුවේය.